පැය හයක් හදවත නවතී; ''එලොව ගොස් මෙලොව ආ' තරුණියක්

Audrey Schoeman

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, යළි සුවය ලැබීමෙන් පසු ඔද්රේ කියා සිටියේ සිහිසන්ව සිටි පැය හය පිළිබඳ මතකයක් නොමැති බවය

පැය හයක කාලයක් හෘද ස්පන්දනය නැවතී 'එලොව ගොස් මෙලොව ආ' බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් පිළිබඳව වාර්තා වේ. වෛද්‍යවරුන් විසින් එය හඳුන්වනු ලැබ ඇත්තේ "අසාමාන්‍ය තත්ත්වයක්" ලෙසය.

ඔද්රේ ෂෝමන් නම් කාන්තාව සහ ඇයගේ සැමියා පසුගිය නොවැම්බර් මස දිනක ස්පාඤ්ඤයේ 'පිරනීස්' කඳු වැටියේ ඇවිද යමින් සිටියදී (Hiking) හිම කුණාටුවකට හසු වී තිබේ. ඇය එහිදී දරුණු 'හයිපතර්මියා'-ශරීර උෂ්ණත්වය අස්වභාවික ලෙස අඩු වීමේ- (hypothermia) තත්ත්වයකට මුහුණ දී ඇත.

මෙතරම් දීර්ඝ කාලයක් හෘදය අක්‍රියව තිබීමක් සම්බන්ධයෙන් ස්පාඤ්ඤයෙන් මින්පෙර වාර්තා වී නැතැයි වෛද්‍යවරු පවසති.

මරණයේ අද්දරට ලඟාවෙමින් බරපතල ජීවිත අත්දැකීමට මුහුණ දී දැන් සම්පූර්ණ සුවය ලැබ යළි ජීවිතය ලද ඔද්රේ ෂෝමන්, ලබන වසන්ත කාලයේදී යළි කඳු මත ඇවිද යාමට තමා බලාපොරොත්තු වන බව පවසන්නීය.

බාසිලෝනා නගරවාසී තිස් හතර හැවිරිදි ඔද්රේ,පිරනීස් හි පැවති දරුණු ශීත කාලගුණයට ගොදුරුව කතාකර ගැනීමට හෝ සිරුර චලනය කිරීමට නොහැකි තත්වයකට පත්වීමෙන් අනතුරුව සිහිසුන් තත්වයකට පත්ව ඇත.

හදිසි ප්‍රතිකාර කණ්ඩායමක් පැමිණන තෙක් බලා සිටින අතරතුර ඇයගේ තත්ත්වය තවත් නරක අතට හැරෙමින් තිබුණ අතර, ඔද්රේ මිය ගොස් ඇත යන්න ඇයගේ ස්වාමිපුරුෂයා වන රොහාන් ෂෝමන්ගේ නිගමනය විය.

"මම ඇගේ නාඩි වැටෙනවද බලන්න උත්සාහ කළා. ඇය හුස්ම ගන්නවා කියලා දැනුනේ නැහැ, හෘද ස්පන්දනය දැනුනේ නැහැ"

පසුගිය බ්‍රහස්පතින්දා පැවති පුවත්පත් සාකච්ඡාවකදී 'කැටලන් චැනල් ටීවී 3' (Catalan channel TV3) මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් රොහාන් කියා සිටියේය.

Rohan Schoeman, husband of Audrey Schoeman who survived six hours of cardiac arrest

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔද්රේ මිය ගොස් ඇතැයි ඇයගේ ස්වාමිපුරුෂයා වන රොහාන් ස්කූමන්ට සිතී ඇත.

බේරා ගැනීමේ කණ්ඩායමක් පැය දෙකකට පසු එහි ළඟා වන විට ඔද්රේගේ ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 18 දක්වා පහළ වැටී තිබුණි.

බාසිලෝනා හි රෝහලක් වෙත ගෙන එන විට ඇය පණ පිටින් සිටින බවට කිසිදු හෝඩුවාවක් නොවීය.

ඔද්රේ රෝගී තත්ත්වයකට පත් කළ කඳුකරයේ පැවති අඩු උෂ්ණත්වය අනිත් අතින් ඇයගේ ජීවිතය බේරා ගැනීමට ද උපකාරී වූ බව ඇයගේ වෛද්‍ය ඔඩුවාඩ් අගුඩෝ පවසයි.

"ඔද්රේ මිය ගොස් ඇති බවක් පෙනෙන්නට තිබුණත්, අපි දැන සිටියා- 'හයිපතර්මියා' තත්ත්වයක් තුළ ඔද්රේට ජීවත් වීමට අවස්ථාවක් ඇති බව." වෛද්‍ය අගුඩෝ විසින් නිකුත් කරණ ලද නිවේදනයක දැක්වේ.

Audrey and Rohan Schoeman with emergency services

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ඔද්රේ සහ ඇයගේ ස්වාමිපුරුෂයා හදිසි සේවා කණ්ඩායම සමග

ඔද්රේ මරණයේ අද්දරට පැමිණ සිටියත්, සිහිසුන්ව සිටි කාලය තුළ ඇය පත්ව සිටි 'හයිපතර්මියා' තත්ත්වය අනිත් අතින් ශරීරය සහ මොළය නරක අතට හැරීමෙන් වළක්වා ඇය ආරක්ෂා කර ඇති බව වෛද්‍ය අගුඩෝගේ නිගමනය වෙයි.

වෛද්‍යවරයා තවදුරටත් අදහස් දක්වමින් මෙසේ පවසයි.

"සාමාන්‍ය ශරීර උෂ්ණත්වයක් යටතේ ඔද්රේගේ හෘදය එතරම් කාලයක් අකර්මණ්‍ය වී තිබුණ නම්, ඇය මරණයට පත්වෙන්න ඉඩ තිබුණා "

ඔද්රේගේ හදවත අක්‍රියව තිබියදී, කාලය සමග පොර බඳිමින් ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරු ඇයගේ රුධිරය ඉවත් කර ඔක්සිජන් මුසු කරමින් යළි ශරීරයට ලබා දීමට කටයුතු කළහ. ඒ සඳහා ඔවුන් විසින් විශේෂ යන්ත්‍රයක් භාවිත කරනු ලැබ ඇත.

ඔද්රේගේ ශරීර උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ට ළඟා වන විට ඇයගේ හදවත යළි පන ගන්වනු ලැබුණේ 'ඩිෆිබ්‍රිලේටරයක්' (Defibrillator) ආධාරයෙනි. ඒ කඳු වැටියේ සිට හදිසි සේවා අමතා පැය හයකට පසුවය.

දින දොළහක ප්‍රතිකාරවලින් අනතුරුව රෝහලෙන් පිටව යාමට ඔද්රේට වෛද්‍ය අවසරය ලැබුණි. එහෙත් 'හයිපතර්මියාව' නිසා ඇති වූ දෑත් චලනයේ අසීරුතාවය සහ සංවේදීබවක් නොදැනීම කලක් ඇයට බලපානු ඇත.

"ස්නායුවලට යම් කිසි හානියක් වෙයි කියලා අපට ලොකු බයක් තිබුණා "වෛද්‍ය අගුඩෝ පැවසීය.

"මොකද මෙතරම් කාලයක් හදවත නැවතිලා යළි පණ ගැන්වුණ වෙනත් අවස්ථා නැහැ"

පිරනීස් කඳු වැටියේ කොටසක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පිරනීස් කඳු වැටියේ කොටසක්

යළි සුවය ලැබීමෙන් පසු ඔද්රේ කියා සිටියේ, සිහිසුන්ව සිටි පැය හය පිළිබඳ මතකයක් තමාට නොමැති බවය.

"දැඩි සත්කාර ඒකකයේ දී මට ඇහැරෙන කොට පළමු දවසේ හෝ දෙකේ වෙමින් තිබුණේ මොනවද කියල මම දැනගෙන හිටියේ නැහැ"

"නමුත් එතැන් පටන් මම වැඩිදුර කියවන්න උත්සාහ කරනවා. නිසැකවම,හයිපෝතර්මියාව ගැන වැඩිදුර තොරතුරු දැනගන්න. මගේ ජීවිතය බේරුණු එක අදහගන්න බැරි බව හැඟෙනවා"

ජීවත්වීමට තමා වාසනාවන්ත වූ බව පවසන ඔද්රේ රෝහල් කාර්ය මණ්ඩලයට ගෞරවය පුද කරන්නීය.

"මේ සියල්ල වුණේ වෛද්‍යවරු නිසා. එහෙම නැති වුණා නම් මේක ආශ්චර්යක්"

මේ ශීත සෘතුවේදී යළි කඳුකරය වෙත නොයෑමට ඉඩ ඇති බවත් ඇය පවසන්නීය.

"නමුත් වසන්ත කාලයේදි අපිට නැවතත් කඳුකරයේ ඇවිදින්න පුළුවන් වේවි කියලා මම බලාපොරොත්තු තියා ගන්නවා. මම මුහුණ දුන් කරදරය නිසා මගේ විනෝදාංශය නවතිනවා දකින්න කැමති නැහැ"