එලොව ගිහින් මෙලොව ආ සර්ෆින් ක්‍රීඩකයා

වීඩියෝ ශීර්ෂ වැකිය, පැය 32 ක් මුහුදේ කොටු වුනු සර්ෆින් ක්‍රීඩකයා

පුරා පැය 32 ක් මුළුල්ලේ මුහුදේ අතරමංව සිටි අවස්ථාවේ සිය ජීවිතය බේරාගැනීම පිළිබඳ සියලු බලාපොරොත්තු බොඳ වූ බව දිය මත ලිස්සා යාමේ (Surfing) ක්‍රීඩාවේ නිරතව සිටියදී මුහුදේ අතරමං වූ බ්‍රිතාන්‍ය ජාතිකයෙක් පවසයි.

පසුගිය ඉරිදා Surfing ක්‍රීඩාව සඳහා මුහුදු ගිය උතුරු ලනාක්ෂයර් පළාතේ වැසියකුවන මැතිව් බ්‍රයිස් ඉන් පැය 32 කට පසුව සොයා ගනු ලැබුවේ එහි සිට සැතපුම් 13 ක් ඈත මුහුදේ අතරමංව සිටියදීය.

තමන්ට තවත් රාත්‍රියක් දැකගන්නට නොලැබෙනු ඇතැයි සිතමින් එදින ඉර බැස යන ආකාරය ඈත මුහුදේ සිට කිසිදු අපේක්ෂාවකින් තොරව බලා සිටි බව බෙල්ෆාස්ට් නුවර සිය රෝහල් ඇඳේ සිට ඔහු සිහිපත් කළේ කඳුළු අතරිනි.

සිය පුතු පිළිබඳ තොරතුරක් නොදැන දින එකහමාරකට ආසන්න කාලයක් වේදනාවෙන් ගත කළ ආකාරය ඔහුගේ දෙමාපියෝ බීබීසී යට හෙළි කළහ.

"සුපුරුදු සාමාන්‍ය දිනයක්" ලෙසින් එදාත් සිය දිනය ආරම්භ වූ අයුරු මැතිව් බ්‍රයිස් බීබීසී ස්කොට්ලන්ඩ් අංශයේ ජැකී බර්ඩ් සමග විස්තර කළේය.

මැතිව් බ්‍රයිස් සිය මව සමග

සුපුරුදු ලෙසින් උදෑසන 11ට ඔහු මුහුදට ගියත් තද සුළඟ සහ රළු මුහුද විසින් තමා මොහොතින් මොහොත දියඹට රැගෙන යද්දී තදින් බියපත් වූ බව මැතිව් පවසයි.

එක් අවස්තාවක මුහුදු රළ පෙළ ඔහු වෙරළට සැතපුමක් දක්වා ආසන්නයට රැගෙන ආවත්, ඉන් අනතුරුව යළිත් වරක් එහි දිශානතිය වෙනස් වී තිබේ.

රැල්ලේ පාවී යන අතරවාරයේ ධීවර යාත්‍රා කිහිපයක් දැක ආධාර පතා කෑගැසුවත් ඔවුන්ට සිය කෑගැසීම නොඇසුණු බව ඔහු පවසයි.

පැය කිහිපයකට පසුව තවදුරටත් දිය මත ලිස්සා යාමට ඔහුට ශක්තියක් නොවීය. එහෙත් සීතලෙන් බේරීම පිණිස අමාරුවෙන් වුවත් දිගටම ක්‍රීඩාවේ යෙදීමට ඔහුට සිදුවිය.

රාත්‍රිය උදාවීමත් සමග කෑලි කපන අඳුරත්, හුදෙකලාවත්, මුහුදු රළ හැරුණු විට පැවති දැඩි නිශ්චලත්වයත් නිසා ඔහු බියෙන් තැතිගත්තේය.

"මම එක හෙලිකොප්ටරයක්වත් දැක්කේ නෑ. ඒ මගේ ජීවිතේ අවසානය කියල මට තේරුණා."

"ආයෙ කවදාවත් ඉර උදාවෙනවා දකින්න ලැබේවි කියල මම හිතුවේ නෑ."

බේරාගැනීමේ හෙලිකොප්ටර් යාත්‍රාවක් මගින් ඔහු බේරාගනු ලැබුවේ සඳුදා රාත්‍රී 7:30 ට පමණය.