සෞදි අරාබිය පළමු වරට විදෙස් සංචාරකයින්ට විවර වෙයි: ඛණිජ තෙල් වෙනුවට සංචාරක කර්මාන්තය දෙසට

සෞදි අරාබිය පළමු වරට විදෙස් සංචාරකයින්ට විවර වෙයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

සෞදි අරාබිය ජාත්‍යන්තර සංචාරකයින් සදහා පළමු වරට විවර කිරීමට එරට රජය පියවර ගෙන තිබේ. ඔවුන් මෙම පියවර ගෙන ඇත්තේ, එරට ආර්ථිකය ඉන්ධන මත යැපීම නතර කරන ලෙසට එල්ල වූ පුළුල් බලපෑම් හේතුවෙනි.

මෙම වැඩපිළිවෙළ යටතේ සෞදි අරාබිය සිකුරාදා (සැප්: 27) දිනයේ සිට රටවල් 49ක් සදහා වීසා නිකුත් කිරීම ආරම්භ කිරීමට නියමිතය. ඊට අමතරව කාන්තා සංචාරකයින් සම්බන්ධයෙන් ඇදුම් සදහා වන සීමා ලිහිල් කිරීම ද සිදු වේ.

එරට සංචාරක කටයුතු අමාත්‍ය අහමඩ් අල්-ඛටීබ් ප්‍රකාශ කළේ, මෙය සෞදි අරාබියට "ඓතිහාසික අවස්ථාවක්" වනු ඇති බවය.

වන්දනාකරුවන්, ව්‍යාපාරිකයින් සහ විදේශීය සේවකයින්ට වීසා නිකුත් කිරීම මෙතෙක් දැඩි ලෙස සීමා කර තිබිණි.

එරට සංචාරක කර්මාන්තය ආශ්‍රිතව විදේශ ආයෝජන සම්බන්ධයෙන් ද සෞදි අරාබිය බලාපොරොත්තු තබා තිබේ. ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ, 2030 වසර වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 3%ක් ලෙස පවතින සංචාරක ක්ෂේත්‍රය 10%ක් දක්වා ඉහළ නැංවීමය.

"යුනෙස්කෝ සංවිධානය නම් කළ ලෝක උරුම පහක් අපේ රටේ තියෙනවා. ඒ වගේ ම විචිත්‍රවත් දේශීය සංස්කෘතිය සහ ස්වාභාවික සෞන්දර්යය නිසා සංචාරකයින් විස්මයට පත් වේවි...," සංචාරක අමාත්‍ය අල්-ඛටීබ් පැවසීය.

මෙම නව වැඩපිළිවෙළ යටතේ සෞදි කාන්තාවන් ප්‍රසිද්ධ ස්ථානවලදී ඇදිය යුතු අබායා වැනි සිරුරු ආවරණය වන ඇදුම් ඇදීමට විදෙස් කාන්තා සංචාරකයින්ට අවශ්‍ය නොවන අතර ඔවුන් සංවර ඇදුම් ඇදීම අපේක්ෂිතය.

"අපට සංස්කෘතියක් තියෙනවා. ඒ සංස්කෘතියට අපේ මිතුරන් සහ අමුත්තන් ගරු කරයි කියල අපි විශ්වාස කරනවා. ඒත් ඒක මධ්‍යස්ථ මට්ටමක පවත්වා ගන්න බව පැහැදිලිව කිව යුතුයි," සංචාරක අමාත්‍යවරයා සදහන් කළේය.

කෙසේ වෙතත්, මෙකා (මක්කම) සහ මෙදීනා යන ආගමික නගර නැරඹීමට තවදුරටත් මුස්ලිම් නොවන සංචාරකයින්ට අවස්ථාව හිමි නොවන අතර මත්පැන් තහනම තවදුරටත් ක්‍රියාත්මකය.

මෙම වැඩපිළිවෙළ යටතේ සංචාරක වීසා නිකුත් කරන රටවල් ඇතුළු වැඩිදුර තොරතුරු සිකුරාදා දිනයෙන් පසු නිකුත් කිරීමට නියමිතය.

සෞදි අරාබිය පළමු වරට විදෙස් සංචාරකයින්ට විවර වෙයි

ඡායාරූප මූලාශ්‍රය, AFP

සංචාරක අමාත්‍යවරයා සදහන් කළේ, සෞදි අරාබියේ ඉන්ධන කර්මාන්තයට මෑතකදී එල්ල වූ ප්‍රහාර සංචාරකයින්ගේ පැමිණීමට බලනොපානු ඇති බවය.

"අපේ රටේ නගර ලෝකයේ ආරක්ෂිත ම නගර අතරට ඇතුළත් වෙනවා. ඒ නිසා ඒ ප්‍රහාර අපේ සැලසුම්වලට කිසිදු ආකාරයකින් බලපායි කියලා අපි විශ්වාස කරන්නේ නෑ. සෞදි අරාබියේ ජීවත් වන සියලු විදේශිකයින් සතුටින් ජීවත් වෙනවා. සෞදි අරාබිය ඉතා ම ආරක්ෂිතයි."

සංචාරක ක්ෂේත්‍රයේ අපේක්ෂා

සෞදි අරාබි ආර්ථිකයේ ඉන්ධන කෙරෙහි තබා ඇති අවධානය අඩු කිරීම සදහා ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් හදුන්වා දෙන පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ සංචාරකයින්ට එරට දොරටු විවර වේ.

මෙම සැලසුම යටතේ, 2030 වසර වන විට සෞදි අරාබිය නරඹන වාර්ෂික විදෙස් සහ දේශීය සංචාරකයින් සංඛ්‍යාව මිලියන 100ක් දක්වා වැඩි කිරීමට සෞදි අරාබියට අවශ්‍ය වී තිබේ. ඊට අමතරව මේ හරහා සංචාරක ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා මිලියනයක් නිර්මාණය කිරීමට ද රජය අපේක්ෂා කරයි.

කෙසේ වෙතත්, පසුගිය වසරේදී සිදුවූ මාධ්‍යවේදී ජමාල් ඛෂෝගිගේ ඝාතනයත්, කාන්තා හිමිකම් ක්‍රියාකාරීන්ට මෑතකදී එල්ල වූ බලපෑම් නිසාත් මානව හිමිකම් සම්බන්ධයෙන් සෞදි අරාබියට ඇත්තේ, යහපත් ප්‍රතිරූපයක් නොවේ.

රතු මුහුදේ දූපත් 50ක සහ තවත් ස්ථාන රැසක සුඛෝපභෝගී හෝටල් ඉදි කිරීමේ දැවැන්ත සංචාරක සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කරන බවට 2017 වසරේදී සෞදි අරාබිය නිවේදනය කළේය.

ඒ අනුව, රියාද් නගරය ආසන්නයේ ඛිද්දියා "විනෝද නගරය" ඉදිකිරීම පසුගිය වසරේදී ආරම්භ කෙරිණි. එය මෝටර් රථ ධාවන පථ සහ සෆාරි ප්‍රදේශවලින් ද සමන්විත දැවැන්ත ව්‍යාපෘතියකි.

තවදුරටත් කියවන්න.