ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
එක්සත් රාජධානියේ අධ්‍යාපනය ලබන විදෙස් සිසුන්ට අලුත් බලාපොරොත්තුවක්
එක්සත් රාජධානියේ අධ්‍යාපනය ලැබීමට පැමිණෙන ජාත්‍යන්තර සිසු සිසුවියන් හට තම අධ්‍යාපන කටයුතු නිමකිරීමෙන් පසු රැකියාවක් සොයා ගැනීම සඳහා තවත් වසර දෙකක් එරට රැඳී සිටීමට අවස්ථාව ලබාදීමට එරට රජය තීරණය කර තිබේ.
ඒ බව එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
මෙම තීරණය මගින් 2012 වසරේදී එවක ස්වදේශ කටයුතු ලේකම්වරිය ලෙස කටයුතු කළ තෙරේසා මේ හඳුන්වා දී තිබූ විදෙස් සිසු සිසුවියන් තම උපාධිය නිම කර මාස හතරක් ඇතුළත නැවත එරටින් යා යුතුය යන නීතිය ආපසු හරවා තිබේ.
මෙම වෙනස මගින් විදෙස් සිසු සිසුවියන්ට "තම හැකියාව විවෘතකර" එක්සත් රාජධානිය තුළ වෘත්තීන් ඇරඹීමට අවස්ථාව සැලසෙන බව අගමැති බොරිස් ජොන්සන් පැවසීය.
නමුත් "මයිග්‍රේෂන් වොච්" නම් සංවිධානය පවසන්නේ එය "පසුගාමී" පියවරක් බවය.
ඊළඟ වසරේ හෝ ඉන්පසුව එක්සත් රාජධානිය තුළ උපාධි හෝ ඊට ඉහළ සුදුසුකම් සඳහා අධ්‍යාපන කටයුතු අරඹන විදෙස් සිසු සිසුවියන්ට මෙම වෙනස අදාළ වේ.
පසු ගිය වසර වනවිට විදෙස් සිසු සිසුවියන් 450,000ක් පමණ එක්සත් රාජධානියේ අධ්‍යාපනය ලබමින් සිටි බව වාර්තා විණි.
එම හිමිකම ලැබීමට නම් ආගමන තොරතුරු නිසි පරිදි සොයා බලන ආයතනයක් ලෙස පිළිගැනීමක් ඇති ආයතනයක ඔවුන් අධ්‍යාපනය ලැබිය යුතුය.
එම යෝජනා මගින් ඔවුන් කළ යුතු වන්නේ කුමන ආකාරයේ රැකියාවක් ද යන්න හෝ කළ හැකි රැකියා ගණන ගැන සඳහන් කර නොමැත.
"සංක්‍රමණික යන කරුණ ගැන රජයේ නව ස්ථාවරය පිළිබඳව යමෙකුට සාක්ෂි අවශ්‍ය නම්, සියලු විදෙස් සිසු සිසුවියන්ට උපාධි නිම කිරීමෙන් පසු වසර දෙකක් මෙහි රැඳිය හැකි යයි සඳහන් මෙම නිවේදනය, ඊට උත්තර සපයනවා," යනුවෙන් ස්වදේශීය පුවත් පිළිබඳ බීබීසී සංස්කාරක මාර්ක් ඊස්ටන් පවසයි.
"තෙරේසා මේ ගේ වචනයෙන්ම කී ආකාරයට සංක්‍රමණික නීති රළු කළේ ශුද්ධ සංක්‍රමණය දස දහස් ගණනක් දක්වා අඩු කිරීමේ අරමුණෙන් නම් නව තීරණය මගින් බොරිස් ජොන්සන් එම ඉලක්කය මකා දැමීමට පොරොන්දු වී ඇත්තේ ගෝලීය බ්‍රිතාන්‍ය තුළ දක්ෂම සහ හොඳම අයට ජීවත්වීමටත් රැකියා කිරීමටත් ධෛර්ය දෙමින්."
ශ්‍රේයා ස්වාමි ඉන්දියාවේ සිට පැමිණි උපාධි අපේක්ෂිකාවකි. "එය හොඳ ඉදිරි පියවරක්" යනුවෙන් ඇය පැවසීය. නමුත් මෙය "දුක්බර දිනයක්" යනුවෙන් ඇය පවසන්නේ මේ වන විට එක්සත් රාජධානියේ සිටින විදෙස් සිසු සිසුවියන්ට එය පමා වැඩි බැවිනි.
කෙන්ට් සහ සරේ හි පිහිටි 'නිර්මාණාත්මක කලා' සඳහා වූ විශ්ව විද්‍යාලයෙන් ඇය සිය ශාස්ත්‍රපති උපාධිය මෑතකදී නිම කළාය. දැනට පවතින නීතිය අනුව මාස හතරක් තුළ රැකියාවක් සොයා ගැනීමට ඇය "දැඩි පරිශ්‍රමයක්" ගන්නා බව කීවාය.
විදෙස් උපාධිධාරීන්ට රැකියා "නැත්තෙම නැති තරම්". ඇය පවසන්නේ අත්දැකීම් රහිත වීම ඊට හේතුව බවය.
"පසුගිය මාස කිහිපයේදී මගේ වෘත්තීය සැලසුම් ගැන කල්පනා කරමින් මම දැඩි ලෙස වෙහෙසුණා. නමුත් පෙනෙන ආකාරයට බ්‍රිතාන්‍යයේ රැකියාවක් සොයාගැනීම ප්‍රයෝගිකව ඉතා අපහසුයි."
"ඇත්තටම මට අසරණ බවක් හැඟෙනවා. මම දැන් මෙහේ ඉගෙන ගැනීමට ආපු එක ගැන දුක් වෙනවා. මේකේ අවසානය වෙලා තිනෙන්නේ ඉතා මිල අධික කොළ කැබැල්ලකුත් සමග මම ආපහු ගෙදර යන එකයි."
මත ගැටුම
රජයේ නව තීරණය ගැන අදහස් දක්වමින්, මෙම පියවර "කාලයට උචිත" බව පවසන මුදල් ලේකම් (චාන්සලර්) සජිඩ් ජාවිඩ් පෙන්වාදෙන්නේ රජය "මෙම මෝඩ ප්‍රතිපත්තිය වෙනස් කළ යුතුව තිබුණේ වසර ගණනකට පෙර" බවය.
විශ්ව විද්‍යාල පිළිබඳ හිටපු අමාත්‍ය ජෝ ජොන්සන් - ඔහු පසුගිය සතියේ තම සොහොයුරාගේ රජයෙන් ඉවත් විය - ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් "අවසානයේ සාර්ථකත්වය" ලැබූ බව පැවසීය. මෙම කරුණ වෙනුවෙන් පක්ෂවල අදහස් වෙනස් කිරීමට ඔහු කැපවී කටයුතු කළ කෙනෙකි.
"යුනිවසිටීස් යුකේ" හි විධායක අධ්‍යක්ෂ ඇලිස්ටෙයාර් ජාවිස් එම තීරණය පිළිබඳව සිය සතුට ප්‍රකාශ කළේය. මෙමගින් එක්සත් රාජධානියේ ආර්ථිකයට වාසි අත්වෙන බවත් එමගින් එක්සත් රාජධානිය "අධ්‍යාපනය සඳහා අංක එකේ ගමනාන්තය" ලෙස තිබු පිළිගැනීම නැවත ස්ථාපනය වන බවත් ය.
"සාක්ෂිවලින් පෙනෙනවා විදෙස් සිසුන් ධනාත්මක සමාජ ප්‍රතිඵල ලබා දෙනවා මේ රටට. ඒ වගේම ආර්ථික දායකත්වය පවුම් බිලියන 26ක්. නමුත් උපාධි නිමවීමෙන් අනතුරුව ඔවුන්ට මෙරට තුළ රැකියා අවස්ථා අහිමිවීම නිසා තරගකාරී ලෙස ඔවුන්ව මෙරටට ආකර්ෂණය කරගැනීමට දීර්ඝ කාලයක් නොහැකි වුණා."
නමුත් "මයිග්‍රේෂන් වොච්" හි සභාපති ඇල්ප් මෙහ්මට් පවසන්නේ එය "විදෙස් සිසුන් රාක්ක පිරවීමට මෙහි රැඳී සිටීම සිදුවියහැකි" ආකාරයේ "අඥාන" පියවරක් බවය.
"අපේ විශ්ව විද්‍යාල වාර්තාගත විදෙස් සිසුන් සංඛ්‍යාවක් ඇද ගන්නවා. එමනිසා පිටුපස දොරෙන් මෙහි රැකියා ලබා ගැනීමට හැකිවන පරිදි අධ්‍යාපන වීසාවල අගය බාල කිරීමට අවශ්‍ය නැහැ." ඔහු පැවසීය.
සමහරු යෝජනා කරන්නේ 2020 දී තම උපාධි නිමකරන අයට නව වීසා සඳහා සුදුසුකම් ලැබීමට හැකිවන සේ මෙම නීතිය හැකි ඉක්මණින් ක්‍රියාත්මක කළ යුතු බවය.
එක්සත් රාජධානියේ සිටින විදෙස් උපාධි අපේක්ෂකයෝ
සංඛ්‍යා ලේඛන අනුව විදෙස් සිසුන් 450,000ක් පමණ දෙනා එක්සත් රාජධානියේ විශ්ව විද්‍යාලවල ඉගෙනුම්වල යෙදී සිටිති.
එම සිසුන්ගෙන් 75%ක් පමණ යුරෝපා සංගමයට අයත් නොවන රටවලින් පැමිණි අය වේ. ඔවුන් ශිෂ්‍ය වීසා ලබාගත යුතුය.
වාර්ෂිකව සිසුන් 170,000ත් 185,000ත් අතර සංඛ්‍යාවක් උපාධි නිම කරන අතර දැනට පවතින නීති අනුව රැකියා වීසා බලපත්‍රයකට මාරු වීමට හෝ අධ්‍යාපන කටයුතු තව දුරටත් කරගෙන යෑමට වීසා ලබාගැනීමට ඔහුට හෝ ඇයට මාස හතරක කාලයක් හිමිවේ.
2018 වසරේදී, 6300 දෙනෙකු ශිෂ්‍ය වීසා සිට පුහුණු රැකියා වීසා ලබා ගත්හ. එනම් ඔවුන්ට පළමු වසරේ වාර්ෂික වැටුප පවුම් 20,800ක් උපයාගත හැකි රැකියා අවස්ථා හිමිව ඇත.
තවත් 450 දෙනෙකු "ඉහළ වටිනාකමක් ඇති සංක්‍රමණික" වීසා හිමි කරගෙන තිබේ. යම් ක්ෂේත්‍රයක විශේෂ නිපුණතාව දක්වන අයට හෝ රට තුළ යම් මුදලක් ආයෝජනය කළ හැකි අයට එම වීසා බලපත ලැබේ.
එසේම සෑම වසරකම ශිෂ්‍ය වීසා 40,000ක පමණ කාලය දීර්ඝ කරනු ලබයි. ඉන් පෙනෙන්නේ එක්සත් රාජධානිය තුළ උපාධිධාරීන් රාශියක් තවදුරටත් අධ්‍යාපනය ලැබීමට තීරණය කරන බවය.
කියවන්න: