ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නවීන තාක්ෂණයෙන් නිම වී තිබුණත් 'තත්පර දහයෙන් සොරා ගත හැකි' මෝටර් රථ
යතුරු නොමැතිව පණ ගැන්විය හැකි නව මාදිලියේ ඇතැම් මෝටර් රථ තුළ පවතින දෝෂ නිසා තත්පර ගණනක් ඇතුළත ඒවා සොරා ගැනීමේ අවදානමක් මතු වී තිබේ.
නවීන තාක්ෂණයට අනුව රියදුරන්ට යතුර සිය සාක්කුවෙන් පිටතට නොගෙන ම මෝටර් රථය පණ ගැන්වීමට හැකිය.
එක්සත් රාජධානියේ 'What Car?' (වට් කාර්?) සඟරාවට සම්බන්ධ මෝටර් රථ විශේෂඥයන් පිරිසක් යතුර නොමැතිව පණ ගැන්විය හැකි වාහන හතක් සොරා ගත හැකි විවිධ ක්‍රම අත්හදා බැලූහ.
ඒ අනුව 'A DS 3 ක්‍රොස්බැක්' (Crossback) සහ 'අවුඩි (Audi) TT RS' යන මාදිලි තත්පර 10ක් වැනි කෙටි කාලයක් ඇතුළත පණ ගැන්විය හැකි අතර, ලෑන්ඩ් රෝවර්, 'ඩිස්කවරි ස්පෝර්ට් TD4 180 HSE' වර්ගයේ රථයක් තත්පර 30ක් ඇතුළත පණ ගන්වා සොරා ගත හැකිය.
සොරුන් යොදා ගන්නා තාක්ෂණය භාවිත කරමින් ඉහත කී අත්හදා බැලීම් සිදු කිරීමට මෝටර් රථ විශේෂඥයෝ පියවර ගත්හ.
වාහනය පණ ගැන්වීමෙන් පසු එයට නැගී ඉවතට ධාවනය කිරීමට ගතවන කාලය ද ඔවුන් ගණනය කර තිබේ.
මේ අතර, අවුඩි සමාගමේ මව් සමාගම වන 'VW Group' පැවසුවේ, සිය මෝටර් රථ නිෂ්පාදනවල ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීමට පියවර ගන්නා බවය.
'පාරිභෝගිකයන් නොමඟ යවලා'
ලන්ඩන් නුවර වෙසෙන ඇන්ඩෘ නම් පුද්ගලයෙකුට අයත් 'මර්සිඩීස් බෙන්ස්' ( Mercedes Benz) රථය පසුගිය නොවැම්බර් මස සොරා ගෙන තිබුණේ ඔහුගේ නිවසින් පිටත නවතා තිබියදීය.
"මගේ වාහනය පණ ගන්වන්න යතුර ඕනේ වුණේ නැහැ. ඒ වගේම යතුර මගේ ගෙදර ඉස්සරහ දොර ආසන්නයේ තිබුණෙත් නැහැ," යැයි ඔහු බීබීසී වෙත පැවසීය.
ඔහුගේ මෝටර් රථය තවමත් සොයා ගත නොහැකි අතර සොරකම සිදු වීමට හේතුව ගැන මර්සිඩීස් සමාගම කරුණු පැහැදිලි නොකළ බව ද ඇන්ඩෘසඳහන් කළේය.
"මම වාහනය ගන්න විට මර්සිඩීස් සමාගම පැවසුවේ යතුර දෙවරක් එබූ විට වාහනය සම්පූර්ණයෙන් අගුළු වැටී ආරක්ෂා වන බවයි. පසුව එය මගේ පුරුද්දක් බවට පත් වුණා. ඒ වගේම මම මේ ගැන කොහොමත් දැනගෙන හිටියා. සොරකම සිදුවන වෙලාවේ යතුර තිබුණේ මගේ ගෙදර තුන් වෙනි තට්ටුවේ පිටිපස්සේ," ඔහු පැවසුවේය.
"වාහන නිෂ්පාදකයන් සෑම වාහනයක්ම තව තවත් ආරක්ෂාවෙන් වැඩි බව කීම නිසා මිනිසුන් නොමග යනවා. මම ජීවත් වන ප්‍රදේශය තුළ පමණක් ඒ මාසය ඇතුළත යතුරු නොමැතිව පණ ගැන්විය හැකි වාහන දහයක් සොරකම් කර ඇති බව මගේ රක්ෂණ සමාගම පැවසුවා."
යතුරු නොමැතිව පණ ගන්වන වාහන සොරකම් කිරීම සිදුවන්නේ කෙසේද?
නිවසින් පිටත නවතා ඇති වාහනයක් ඔවුන්ගේ ඉලක්කය වනු ඇති අතර, සාමාන්‍යයෙන් සොරුන් දෙදෙනෙකු ඊට සම්බන්ධ වෙති.
යතුරෙන් වාහනයට ලබා දෙන සංඥා නිකුත් කරන උපකරණයක් අතැතිව එක් සොරෙකු වාහනය අසල රැඳෙන අතර, අනෙක් සොරා නිවස අසල රැඳෙමින් එම සංඥා යතුර දෙසට යැවිය හැකි උපකරණයක් අතැතිව සිටියි. මෙමගින් අදාළ තාක්ෂණික ක්‍රියාවලිය 'රැවටීමට' හැකියාව ලැබේ.
වාහනය සොරාගත් පසු ඔවුන් එහි කොටස් ගලවා දමන බව පොලිසිය පවසයි.
යතුරු නැතිව පණ ගැන්විය හැකි වාහන සොරකම් වැළැක්වීම සඳහා මෝටර් රථ නිෂ්පාදකයන් නව තාක්ෂණික ක්‍රම හඳුන්වා දීම ආරම්භ කර තිබේ. වාහනය සෙලවෙන විට හඳුනාගැනීම ඉන් එක් ක්‍රමයකි.
වාහනය සෙලවෙන විට හඳුනාගත හැකි තාක්ෂණය ඇතුළත් වාහන අනවසරයෙන් පණ ගැන්වීමට 'What Car?' මෝටර් රථ විශේෂඥයන්ට නොහැකි විය. නමුත් මෙම තාක්ෂණය මෝටර් රථ වෙළෙඳපොළ තුළ තවමත් දක්නට නොමැත.