'හොංකොං' ජනමතය ඉදිරියේ චීනය නව නීතිය හකුලා ගනී

People attend a rally in support of demonstrators protesting against the proposed extradition bill with China, in Hong Kong

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, හොංකොං වාසීන් ලක්ෂ ගණනින් පනත් කෙටුම්පතට එරෙහිව වීදි බැස

චීනය විසින් ඉල්ලා සිටිනු ලබන සැකකරුවන් බේජිං පාලනයට භාර දීමට අවශ්‍ය නෛතික ඉඩකඩ ලබා දෙමින් පෙරට තබන ලද, විශාල මහජන විරෝධයකට මුල් වූ පනත් කෙටුම්පත අත්හිටුවීමට පියවර ගත් බව හොංකොං ප්‍රධාන විධායක පාලිකා කැරී ලෑම්(Carrie Lam) නිවේදනය කළාය.

හොංකොං වාසීන් ලක්ෂ ගණනින් වීදි බැස එම පනත් කෙටුම්පතට එරෙහිව පසුගියදා විශාල හඬක් නගන ලද නමුත්, ප්‍රධාන විධායක නිලධාරිනී කැරී ලෑම්(Carrie Lam) මුලදී සිටියේ අදාළ නෛතික ක්‍රියාදාමය කිසිදු ලෙසකින් නතර නොකරන්නේය යන දැඩි ස්ථාවරයෙහිය.

"අපේ අඩුපාඩු සහ වෙනත් බොහෝ කාරනා සම්බන්ධයෙන් මම ගොඩාක් කනගාටු වෙනවා" හොංකොං පාලිකාව දැන් පවසන්නීය.

සැකකරුවන් වෙනත් රටවලට භාර දීම සඳහා වන ඉහත කී නව නීතිය මගින් සිය දිවයින තුළ බේජිං පාලනයේ බලපෑම තවත් වැඩිවනු බවට ඊට විරුද්ධ කණ්ඩායම් මැසිවිලි නගති.

"පනත් කෙටුම්පත් පෙරට ගෙන යාම නතර කොට ඒ ගැන සිතන" ලෙස කෙරෙන ඉල්ලීම්වලට තමා සවන්දුන් බවත් කැරී ලෑම් පවසන්නීය.

සැකකරුවන් භාර දීමේ පනත් කෙටුම්පත පිළිබඳව "මනා පැහැදිලි කිරීමක් සහ දැනුවත් කිරීමක්" සිදු නොවූ බවත් ඇය පිළිගනියි.

සිය ඉලක්කය වුණේ හොංකොං දූපතෙහි ප්‍රධාන අභිලාෂය වන, නීතිය සහ සාමය ස්ථාපිත කිරීමට ප්‍රමුඛතාව දීමය යන්න ප්‍රධාන විධායක පාලිකාවගේ විග්‍රහය වෙයි.

නීතිය ඉක්මන් වුණේ ඇයි?

Hong Kong Chief Executive Carrie Lam speaks during a press conference at the government headquarters in Hong Kong on June 15, 2019.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, "පනත් කෙටුම්පත් පෙරට ගෙන යාම නතර කොට ඒ ගැන සිතන" ලෙස කෙරෙන ඉල්ලීම්වලට තමා සවන්දුන් බවත් කැරී ලෑම් පවසන්නීය.

ඉහත කී නීතිය කෙටුම්පත් කරන ලද්දේ තායිවානයේ දී සිදු කරන ලද මිනිස් ඝාතනයක් සම්බන්ධයෙන් සැක කෙරෙන තරුණයෙක් හොංකොං කරා පළාවිත් නීතියෙන් බේරී සිටීමට තැත් කිරීමේ සිද්ධියකින් අනතුරුවය.

එම හොංකොං දූපත්වාසී දහනව හැවිරිදි තරුණයා, පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී සිය විසි හැවිරිදි ගර්භණී පෙම්වතිය සමග තායිවානයේ නිවාඩුවක් ගත කරමින් සිටියදී ඇය මරා දමා පසුව හොංකොං දූපතට පළාවිත් ඇති බව පැවසේ.

සැකකරු තමන්ට භාර දෙන මෙන් තායිවාන් බලධාරීන් ඉල්ලා සිටින නමුත්, එවැනි භාර දීමක් සඳහා තායිවානය සහ තමන් අතර ගිවිසුමක් නොමැති බව හොංකොං බලධාරීහු ප්‍රකාශ කළහ.

එවැනි අවස්ථාවන්හි දී සැකකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා එවැනි "ඉල්ලා සිටින පුද්ගලයන් වෙනත් රටකට භාර දීමට" අවසර ලැබෙන යෝජිත නීතිය වැනි නෛතික රාමුවක් වේනම්, අපරාධකරුවන්ට තම දිවයින ක්‍ෂේමභූමියක් නොවනු ඇතැයි හොංකොං ආණ්ඩුව තර්ක කරයි.

අදාළ පනත් කෙටුම්පත හදිසියේ ම සම්මත කර ගැනීමට තැත් කරන ලද්දේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ වාර්ෂික සැසි වාරය නිමවීමට පෙර එය ඉටුකර ගැනීමට පවතී ඉඩකඩ සැලකිල්ලට ගනිමින් බව ප්‍රධාන විධායක පාලිකා කැරී ලෑම්(Carrie Lam) පවසයි.

පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඊ ළඟ පියවර ගැනීම ඇති දිනයක් තීන්දු කර නැති බවත් ඇය පවසන්නීය.

ලක්‍ෂ ගණනින් මහජනතාව සහභාගී කර ගනිමින් ,එම පනත් කෙටුම්පතට එරෙහිව ඉරිදා දිනයේ (ජුනි 16) තවත් විරෝධතා ව්‍යාපාර දියත් කිරීමේ සැලැස්මක් ද තිබුණි.

චීනය, හොංකොන්
ඡායාරූප ශීර්ෂ වැකිය, සැකකරුවන් බේජිං පාලනයට භාර දීමේ පනත් කෙටුම්පතට එරෙහිව

පිරිහෙන අධිකරණ රටාවක්

තම දිවයින 'චීනයේ ක්‍රියාත්මක අතිශයින් අවිධිමත් නෛතික රටාවට යටත් වනු ඇත' යන්න එම පැරණි බ්‍රිතාන්‍ය යටත් විජිතයේ වෙසෙන ඉහත කී නව නීතියට එරෙහි කණ්ඩායම්වල අදහස වෙයි.

එසේම නව පනතත් සමග හොංකොං දූපතේ දැනට පිරිහෙමින් පවතින ස්වාධීන අධිකරණ රටාව තවත් නරක අතට හැරෙනු ඇතැයි ඔවුහු බිය පළ කරති.

බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති හොංකොං දූපත, 1997 වසරේ මහජන චීන පාලනයට භාර දුන් අතර, ඉන් පසු "එක රටක් -ක්‍රම දෙකක්" (one country, two systems) යන මූලධර්මය යටතේ ස්වයංපාලන බලයක් සහිත විශේෂ චීන කලාපයක් ලෙස පාලනය කෙරෙයි.

දූපත තුළ ඊට අවේණික නීති සංග්‍රහයක් පවතින අතර, අනිත් අතින් චීනයේ ප්‍රධාන භූමියේ පවතින තත්වයට වඩා වැඩි නිදහසක් හොංකොං වැසියෝ භුක්ති විඳිති.

එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය ඇතුළු රටවල් විස්සක් සමග හොංකොං දූපත් බලධාරීන් සැකකරුවන් භාරදීමේ ගිවිසුම් අත්සන් කර ඇති නමුත් චීනයේ ප්‍රධාන පාලනයත් සමග එවැනි ගිවිසුමකින් බැඳී නැත.

අවශ්‍ය සැකකරුවන් භාර දීමට අදාළ යෝජිත නව නෛතික වෙනස්කම් අනුව, දූෂණය සහ මිනී මැරීම වැනි අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබන සැකකරුවන් හොංකොං පාලනයෙන් ඉල්ලා සිටීමට චීනය, තායිවානය සහ මැකාවු(Macau) දූපතේ බලධාරීන්ට බලය පැවරෙයි.

භාරදීම සිදු කෙරෙන ආකාරය

එවැනි ඉල්ලීම් ඉදිරිපත් වුනොත් ඒවා වෙන් වෙන් වශයෙන් සලකා බලනු ඇත.

චීනය ,'හොංකොන්'
ඡායාරූප ශීර්ෂ වැකිය, විරෝධතාවාදීන් ආණ්ඩුවේ කාර්යාලවලට ඇතුල් වෙමින්

එවැනි ඉල්ලීමක් කෙරුනොත් අදාළ සැකකරු ඉහත කී බලධාරීන්ට භාරදීම හෝ නොදීම සම්බන්ධයෙන් අවසන් තීන්දුව තම දූපතේ අධිකරණයක් විසින් ගනු ලබන බවත්, දේශපාලන හෝ ආගමික කරුණු මත චෝදනා එල්ල වෙන සැකකරුවන් කිසිදු ආකාරයකින් එලෙස භාර නොදෙන බවත් හොංකොං නිලධාරීහු පවසති.

කියවන්න;