“රතු එළිය පනින්න එපා ” චීනය හොංකොං දූපතට අනතුරු අඟවයි

හොංකොං උද්ඝෝෂකයෝ - ජනාධිපති ෂි ජින්පින් ගේ අනුරුවක් ද ඔවුන් අතර

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, හොංකොං උද්ඝෝෂකයෝ - ජනාධිපති ෂි ජින්පින් ගේ අනුරුවක් ද ඔවුන් අතර

හොංකොං දුපතේ පාලනය සම්බන්ධයෙන් 'බේජිං' බල අධිකාරියට අභියෝග කරනු ලැබීම 'අනුමත කළ නොහැකි ක්‍රියාවක්' බවට චීන ජනාධිපති ෂි ජින්පින් (Xi Jinping) අනතුරු ඇඟවීමක් කරයි.

චීන නායකයා එම අනතුරු ඇඟවීම කළේ එම දූපත බ්‍රිතාන්‍ය පාලනයෙන් චීනයට භාර දෙනු ලැබීමේ විසිවෙනි සංවත්සරය යෙදීමත් සමඟ හොංකොං නව පාලිකා කැරී ලෑම්(Carrie Lam සිය පදවියේ දිවරුම් දීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

හොංකොං දූපතේ නව විධායක නිලධාරිනිය හැටියට පත්ව සිටින කැරී ලෑම්(Carrie Lam) සහ ඇයගේ කැබිනට් මණ්ඩලය දිවරුම් දෙන අවස්ථාවට සහභාගී වූ ජනාධිපති ෂි ජින්පින් "දූපතේ සංවර්ධනය, ආරක්ෂාව සහ ජාතික පරමාධිපත්‍යය අඛණ්ඩව පෙරට ගෙනයාමේ වැඩ පිළිවෙළ වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාව" පෙන්වා දුන්නේය.

කැරී ලෑම්(Carrie Lam) හොංකොං දූපතේ විධායක නිලධාරිනිය හැටියට පත් පළමු කාන්තාවයි.

බේජිං පාලනයට පක්ෂව රැළියක්
ඡායාරූප ශීර්ෂ වැකිය, බේජිං පාලනයට පක්ෂව රැළියක්

"චීනයේ පරමාධිපත්‍යය සහ ආරක්ෂාව අනතුරේ හෙළීමට ගනු ලබන ඕනෑම උත්සාහයක්, මධ්‍යම ආණ්ඩුවේ බලය සම්බන්ධයෙන් අභියෝග කරනු ලැබීමක් හෝ රහසිගත පිවිසීම සඳහා හොංකොං දූපත යොදා ගැනීමක් සහ චීනයට එරෙහි කඩාකප්පල්කාරී ක්‍රියා සඳහා දූපත උපයෝගී කර ගනු ලැබීමක් රතු එළිය නොතකා ගමන් කිරීමක් . එවැනි ක්‍රියා කිසිසේත්ම අනුමත කරන්න බැහැ" චීන නායකයා අවධාරණයෙන් කියා සිටියේය.

හොංකොං දූපතේ ජනතාව කිසිදාක නොවූ නිදහසක් දැන් භුක්ති විඳින බවත් ඔහු කියා සිටියේය.

ජනාධිපති ෂින් ජින්පින් සිය හොංකොං සංචාරය නිමවා සෙනසුරාදා සන්ධ්‍යාවේ (ජූලි 02) ආපසු 'බේජිං' බලා පිටත්ව යාමෙන් අනතුරුව හොංකොංවාසීන් දහස් ගණනක් 'ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලමින්' වාර්ෂිකව සිදු කරන පෙළපාලිය පවත්වන ලද බවක් ද වාර්තා විය.

චීන නායකයා දූපතේ රැඳී සිටින කාලය තුළ එවැනි විරෝධතා සඳහා වැඩි ඉඩකඩක් නොලැබුණි.

හොංකොං ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂකයන් සහ 'බේජිං' පාලනයට සහයෝගය දෙන කණ්ඩායම් අතර ගැටුම් ඇති වූ බවක් ද වාර්තා වෙයි.

2013 වසරේ සිදුකළ සංචාරයෙන් අනතුරුව චීන ජනාධිපතිවරයා හොංකොං දිවයිනට ගිය පළමු අවස්ථාව මෙයයි.

මෙවර සංචාරය නිමිත්තෙන් ඉතා දැඩි රැකවරණ යොදා තිබුණි.

"අපට අවශ්‍ය නිදහස"
ඡායාරූප ශීර්ෂ වැකිය, "අපට අවශ්‍ය නිදහස"

ප්‍රජාත්නත්‍රවාදීන්ගේ පෙළපාලියට හැට දහසක් සහභාගී වූ බව සංවිධායකයන් ප්‍රකාශ කළත් පොලිස් වාර්තා අනුව ඊට සහභාගී වී ඇත්තේ වඩා අඩු සංඛ්‍යාවකි

2015 වසරේ අතුරුදහන්ව අනතුරුව චීනයේ රැඳවුම් මධ්‍යස්ථානයකින් සොයා ගනු ලැබුණ පොත් වෙළෙන්දන් පස් දෙනාගෙන් එක් තැනැත්තෙක් වන ලෑම් වින් කී(Lam Wing-kee) මෙවර ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ රැළිය අමතා කතා කළේය.