ජාතික ගීයට සමච්චල් කරන හොංකොං වැසියන්ට අනතුරුඇඟවීමක් !

ඡායාරූප මූලාශ්‍රය, EPA
චීන ජාතික ගීයට ගරු නොකරන හොංකොං දූපත් වැසියන් අවුරුදු තුනක සිර දඬුවමකට යටත් කළ හැකි අලුත් නීති ක්‍රියාවට නැංවීම සඳහා බේජිං පාලනය පියවර ගනිමින් ඇත.
චීනයේ කොටසක් වන හොංකොං දූපතේ ඇතැමුන් චීන ජාතික ගීය වාදනය කරන ලද අවස්ථා කීපයක ඊට අවමන් වශයෙන් හූ කියන ලද සිද්ධීන් කීපයක් ම වාර්තා විය.
අර්ධ ස්වයංපාලන බලතල සහිත හොංකොං සහ 'මැකාවු' (Macau) දූපතේ ඇතැම් කණ්ඩායම් විසින් ජාතික ගීයට අගෞරව කරනු ලැබීම සම්බන්ධයෙන්, නව නීති සම්පාදනය කරනු ලැබීමට චීනයේ ජාතික මහජන මන්ත්‍රණ සභාව පියවර ගෙන ඇත.
චීන පාලනයට සහයෝගය දක්වන බහුතරයක් සහිත හොංකොං ආණ්ඩුවත් එවැනි නීතියක් සිය ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමේ වැඩ කටයුතු දැනටමත් ආරම්භ කර ඇත.
හොංකොං දූපත අභ්‍යන්තරයේ චීන විරෝධී මතවාදයක් ව්‍යාප්ත වෙමින් පවතියි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
පසුගියදා එහි පැවැත්වුන පාපන්දු තරඟාවලියක් ආරම්භයේ චීන ජාතික ගීය වාදනය කෙරෙද්දී හූ හඬ අසන්නට ලැබුණි.
සාපේක්ෂව බලන විට, චීනයේ ප්‍රධාන භූමියේ දක්නට නොලැබෙන නිදහසක් හොංකොං දූපතේ පවතින නමුත්,අලුතින් පැනවීමට යන නීති නිසා එම නිදහස අහිමි වනු ඇතැයි හොංකොං ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයෝ බියසැක පළ කරති.
හොංකොං දූපත චීනයට අයත් විශේෂ පරිපාලනයක් සහිත භූමි භාගයකි.
එසේම එහි නීතිය බේජිං නීතියෙන් වෙනස් වෙයි.
ඒ අනුව ජාතික ගීයට සමච්චල් කරනු ලැබීම සම්බන්ධයෙන් බල පැවැත්වෙන චීන නීතිය තරම් හොංකොං දූපත සඳහා බල ගැන්වීමට යන නීතිය බරපතළ වේද? නැද්ද? යන්න තක්සේරු කිරීමට තවමත් කල් වැඩි බව බීබීසී වාර්තාකාරිණි ජුලියානා ලියු (Juliana Liu) පවසයි.
ඒ සඳහා චීනය විසින් පසුගිය සැප්තැම්බර් මාසයේ පනවන ලද නීතිය හොංකොං දූපතේ ව්‍යවස්ථාදායක සභාවත් කිසිදු අපහසුතාවයකින් තොරව සම්මත කරනු ඇතැයි සැලකෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය සඳහා මූලික සුදුසුකම් ලැබීමට 2015 වසරේ කටාරයට එරෙහිව පැවැත්වුන තරඟය අතරවාරයේ, චීන ජාතික ගීයට හූ කීමකින් අනතුරුව බේජිං පාලනය හොංකොං දූපත සම්බන්ධයෙන් දැඩි නීති ක්‍රියාවට නැංවීම ආරම්භ කළ අතර එය චීන විරෝධී කණ්ඩායම්හි කනස්සල්ලට හේතු විය.
පසුගිය ඔක්තෝබර් මාසයේ මැලේසියාවට එරෙහි පාපන්දු තරඟයකදී චීන ජාතික ගීය වාදනය කෙරෙද්දීත් ඊට එරෙහි වූ ඇතැම් නරඹන්නෝ පසුපස හරවමින් ඔවුන්ගේ විරෝධය පළ කළහ.
ලාඕසය සමඟ පැවැත්වුන මිතුරු තරඟයක් අතරවාරයේත් චීන විරෝධී හැසිරීම් සහ කෑ ගැසීම් දක්නට ලැබුණි.
හොංකොං දූපත කලින් බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ අතර බ්‍රිතාන්‍ය - චීන ගිවිසුමක් අනුව 1997 වසරේ දී එය චීන පරිපාලනයට භාර දෙනු ලැබුණි.

හොංකොං දූපත් වාසීන්ගේ මූලික අයිතිවාසිකම් එම ගිවිසුම මගින් සහතික කරනු ලැබ ඇතැයි විශ්වාසයක් පවතී.
හොංකොං ස්වාධීන රාජ්‍යයක් බවට පත් කිරීම වෙනුවෙන් පෙනී සිටීම ද දඬුවම් ලැබිය හැකි වරදක් බවට චීනය අනතුරු අඟවා ඇත.
සබැඳි පුවත්;








