ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දරුවන් පස් දෙනා ඝාතනය කළ සැමියාට සමාව දෙන ලෙස ඉල්ලූ ඇමරිකානු මවක්
සිය දරුවන් පස් දෙනා ම ඝාතනය කළ පියෙකුට මරණ දඬුවම් ලබා නොදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි මවක පිළිබඳ පුවතක් ඇමෙරිකාවෙන් වාර්තා වෙයි.
ඇම්බර් කයිසර් නමැති එම මව දකුණු කැරොලිනාහි අධිකරණයකදී පැවසුවේ, ටිම් ජෝන්ස් නමැති සිය ස්වාමි පුරුෂයා, "මගේ දරුවන්ට කිසිදු කරුණාවක් නොදැක්වුව ද, මගේ දරුවන් ඔහුට ආදරය කළ," බවය.
2014 වසරේ අගෝස්තු 28 වන දා ලෙක්සින්ටන්හි පිහිටි ඔහුගේ නිවසේදී වයස අවුරුදු 1 සිට 8 දක්වා වූ වයස්වල පසුවූ සිය දරුවන් 5 දෙනා ඝාතනය කරනු ලැබූ බවට 37 හැවිරිදි එම පියා වරදකරු වූයේ, පසුගිය මැයි මාසයේදීය.
අධිකරණ ජූරි සභාව මේ වන විට ඔහුට මරණ දඬුවම නියම කළ යුතු ද නැතහොත් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළ යුතු ද යන්න තීරණය කරමින් සිටී.
"මගේ දරුවන්ට සිදුවුණ දේ සහ ඔවුන් විඳි දුක ගැන මට දැන ගන්න ලැබුණා," ඇම්බර් කයිසර් අඟහරුවාදා (ජූනි 11) අධිකරණයේදී පැවසීය.
"අම්මා කෙනෙක් විදිහට මට පුළුවන්කමක් තියෙනවා නම් මට පුළුවන් එයාගේ මූණ ඉරලා දාන්න."
"මා තුළ ඉන්න අම්මා එහෙමයි. අම්මා කියන වැලහින්න ඒ වගෙයි." (වැලහින්න යනු සිය දරුවන් රැක ගැනීම වෙනුවෙන් ඕනෑ ම කැප කිරීමක් කරන සතෙකු ලෙස පිළිගැනීමක් පවතී)
වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය අධිකරණයට දැනුම් දුන්නේ, ටිම් ජෝන්ස් නමැති සිය ස්වාමි පුරුෂයාට මරණ දඬුවම් ලබා දීමට තමන් අකමැති බවය.
නීතිය අනුව සිය ස්වාමි පුරුෂයාට උපරිම දඬුවම් ලබා දෙනු ඇතැයි තමන් ඇතැම් අවස්ථාවලදී අපේක්ෂා කළ ද, ඔහුට මරණ දඬුවම ලබා දීමට තමන් යෝජනා නොකරන බව ඇය සඳහන් කළාය.
"එයා මගේ දරුවන්ට කිසි ම ආකාරයකින් කිසි ම කරුණාවක් දක්වලා නැහැ, ඒත් මගේ දරුවන් එයාට ආදරය කළා. දරුවන්ගේ පැත්තෙන් හිතල මට කියන්න තියෙන්නේ එච්චරයි," ඇය පැවසීය.
ඇය සඳහන් කළේ, කෙසේ වෙතත්, ජූරි සභාව ගන්නා කුමන තීන්දුවකට වුව ද තමන් ගරු කරන බවය.
චිකාගෝහි පිහිටි ළමා විනෝද උද්‍යානයක සේවය කරමින් සිටියදී ඔවුන් මුණ ගැසී සති 6ක් ගතවීමෙන් පසු විවාහ වී ඇත්තේ, 2004 වසරේදීය.
එහෙත් ඇයට කාලය ගත වද්දී වැටහී ඇත්තේ, සිය ස්වාමියා දැඩි ආගමික භක්තිකයෙකු වීම නිසා සිය විවාහ ජීවිතය නීරස එකක් වූ බවය. ඔහුගේ දැක්ම වී තිබුණේ, කාන්තාවන් "බැලීමට මීස ඇහුම්කන් දීමට සුදුසු පාර්ශවයක් නොවන," බවය.
අවුරුදු 9ක විවාහ දිවියක් ගත කළ ඔවුන් දික්කසාද වූ අවස්ථාවේ සිය දරුවන්ගේ භාරකාරත්වය ඇය සිය ස්වාමියාට පවරා ඇත්තේ, පරිගණක ඉන්ජිනේරුවරයෙකු වූ ඔහුට සැලකිය යුතු ආදායමක් සහ වාහනයක් තිබුණු හෙයිනි.
ඉන්පසු ඇය සෑම සෙනසුරාදාවක ම සිය දරුවන් භෝජනාගාරයකදී හමුවී තිබිණි.
අධිකරණය හමුවේ ඉදිරිපත් වූ සාක්ෂි අනුව, දරුවන් ඝාතනය කළ දිනයේ සිය නිවසේදී සිය 6 හැවිරිදි දරුවා විදුලි පේනුවක් (plug socket) සමග සෙල්ලම් කරමින් සිටිනු දැකීමෙන් ටිම් ජෝන්ස් කෝපයට පත්ව තිබිණි.
ඔහු එහිදී එම දරුවා ඝාතනය කර ඇති අතර අනෙක් දරුවන් සිව් දෙනා ගෙළ මිරිකා ඝාතනය කිරීමට තීරණය කර තිබේ. එම දරුවන් සිව් දෙනා අවුරුදු 1, 2, 7 සහ 8 හැවිරිදි වියේ පසු වූහ.
ඉන්පසු දරුවන්ගේ මළ සිරුරු පොලිතින්වලින් ඔතා ඔහුට අයත් සුඛෝපභෝගී මෝටර් රථයට දමාගෙන ඇලබාමාහි ග්‍රාමීය ප්‍රදේශයක් වෙත රැගෙන යාම සඳහා දින 9ක් තිස්සේ තැනින් තැන ධාවනය කර තිබිණි.
ඔහු ඒ අතරතුර අත්අඩංගුවට ගෙන ඇත්තේ, මිසිසිපි ප්‍රදේශයේ මාර්ග පරීක්ෂාවකදී පොලිස් නිලධාරියෙකුට මෝටර් රථය තුළින් මළ සිරුරකින් නැගෙන දුඟදක් වහනය වීම හේතුවෙනි.
ටිම් ජෝන්ස් අධිකරණය හමුවේ කියා සිටියේ තමන් මානසික ව්‍යාධියකින් පෙළෙන්නෙකු හෙයින් ඊට වැරදිකරු නොවන බවය.
ඔහු වෙනුවෙන් කරුණු දැක්වූ විත්තියේ සාක්ෂාකාර පාර්ශවය අධිකරණයට දන්වා සිටියේ ඔහු භින්නෝන්මාදයෙන් පෙළෙමින් සිටි අයෙකු බවය. ඔහුගේ මව ද එම රෝගී තත්ත්වයේ පසු වන බව ඔවුහු අධිකරණය හමුවේ පැවසූහ.
ඔවුන් තර්ක කළේ, ඇම්බර් කයිසර් යාබද නිවසේ සිටි තරුණයෙකු නිසා තමන් අත්හැරීමෙන් පසු ටීම් ජෝන්ස් මානසිකව කඩා වැටුණු බවය.