වෙනිසුවෙලා අර්බුදය: "කුමන්ත්‍රණයක්" ගැන විපක්ෂ නායකට චෝදනා

Juan Guaidó's supporters from the Bolivarian National Guard repel forces loyal to Nicolás Maduro

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ගුඅයිඩෝට සහය දෙන බොලිවේරියානු ජාතික ආරක්ෂක බලමුළුවේ සාමාජිකයින් මදුරෝට හිතවත් පිරිස් පලවා හරිමින්

වෙනිසුවෙලා ජනාධිපති නිකලස් මදුරෝ ගේ පාලනය අවසන් කිරීමේ "අවසන් අදියර" කරා තමන් පැමිණ ඇති බව විපක්ෂ නායක ජුවාන් ගුඅයිඩෝ ප්‍රකාශ කිරීමෙන් අනතුරුව, කුඩා ප්‍රමාණයේ කුමන්ත්‍රණ ප්‍රයත්නයක් බිඳ හෙලමින් සිටින බව එරට බලධාරීහු පවසති.

නිල ඇඳුම් ලා ගත පිරිසක් සමග වීඩියෝ දර්ශනයක පෙනී සිටි ගුඅයිඩෝ, තමන්ට හමුදා සහය ඇති බව පැවසීය.

පසුගිය ජනවාරියේදී තමන් අන්තර්කාලීන ජනාධිපතිවරයා බව ප්‍රකාශයට පත් කළ ගුඅයිඩෝ, මදුරෝ විසින් බලය "පැහැර ගනු ලැබීම" අවසන් කිරීම සඳහා සහය දෙන ලෙස හමුදාවේ සාමාජිකයින් වැඩි දෙනාගෙන් ඉල්ලා සිටින බව කියා සිටියේය.

ගුඅයිඩෝ සමග පැවති අර්බුදය අතරතුර හමුදාවේ සහය සාමාන්‍යයෙන් මදුරෝ හට ලැබිණි.

නමුත් උද්ධමනය, විදුලිය කප්පාදුව, ආහාර හා ඖෂධ හිඟයෙන් පිරුණු ගෙවී ගිය වසර කිහිපය තුළ ප්‍රතිරෝධය නැග එද්දී, එතෙක් හමුදාව තුළ වූ පක්ෂපාතීත්වය වෙනස් කරගනු ඇති බව මදුරෝ ගේ විවේචකයෝ පැවසූහ.

ඇමෙරිකාව සහ බොහෝ ලතින් ඇමෙරිකානු රටවල් ඇතුළු රටවල් ගණනාවක් ජුවාන් ගුඅයිඩෝ වෙනිසුවෙලා හි නියම නායකයා ලෙස පවසද්දීත්, මේ දක්වා හමුදාව මදුරෝ හට සහය දැක්වීය.

ගුඅයිඩෝ ගේ අලුත් වැඩපිළිවෙල මදුරෝ බලයෙන් නෙරපීමට තරම් වන අවස්ථාවක් වේද යන්න පිළිබඳව ලෝකය දැන් බලා සිටී.

කෙසේ වෙතත්, මදුරෝ පවසන්නේ තමන්ට තවමත් හමුදාවේ පූර්ණ සහය ඇති බවකි.

දෙපාර්ශ්වයට ම සහය දෙන පිරිස් කරකස් අගනුවර විවිධ තැන්වලට ඒකරාශී වී සිටිති.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

දැන් සිදුවෙන්නේ කුමක්ද ?

දෙපාර්ශ්වයට ම සහය දෙන පිරිස් කරකස් අගනුවර විවිධ තැන්වලට ඒකරාශී වී සිටිති.

ගුඅයිඩෝ ට හිතවත් පිරිස් හා සන්නද්ධ හමුදා වාහන අතර ගැටුම් පවතී. විරෝධතාකරුවන් ගල්මුල්වලින් පහර එල්ල කරද්දී කඳුළු ගෑස් හා ජල තුවක්කුවලින් ඔවුන් වෙත ප්‍රති ප්‍රහාර එල්ල වේ.

සන්නද්ධ රථ මිනිසුන් රැසක් අතරට ධාවනය වන අයුරු රූපවාහිනි කැමරාවලට ද හසු වුවත්, කිසිවකුට හෝ තුවාල සිදුවීද යන්න පැහැදිලි නැත.

මේ අතර, රූපවාහිනියෙන් ප්‍රකාශයක් කළ වෙනිසුවෙලා හි ආරක්ෂක ඇමති ව්ලදිමීර් පද්‍රිනෝ අවධාරණය කළේ හමුදාව තවමත් මදුරෝ සමග සිටින බවය.

ඇතැම් හමුදා සාමාජිකයින්ගේ නැගී සිටීම "අර්ධ වශයෙන් පරාජය කළා" යැයි ඔහු පැවසුවද ලේ වැගිරීමක් විය හැකි යයිද අනතුරු ඇඟවීය.

"රටේ ස්වෛරීබව හා නිදහස ආරක්ෂා කිරීම සඳහා ජනරජයේ අවි සුදානම්" යැයි ද ඔහු අනතුරු ඇඟවීමේ දැක්විණි.

විරෝධය නැගුනේ කුමකින්ද?

ගුඅයිඩෝ පෙනී සිටි විනාඩි තුනක වීඩියෝ පටයක් අඟහරුවාදා (අප්‍රේල් 30) අලුයම පළවිය. කරකස් හි "නිර්භීත සෙබළුන්ගේ" සහය තමන්ට හිමි වූ බව ඔහු එයින් නිවේදනය කළේය.

"වෙනිසුවෙලාවේ ජනතාවනි, වීථි බසිමු... නැවත හැරවිය නොහැකි වන්නාවූ, බලය පැහැරගැනීම අවසන් කිරීමට සහය දෙමු. රටේ සන්නද්ධ හමුදාව නිවැරදි තීන්දුව ගෙන තිබෙනවා. ඔවුන්ට වෙනිසුවෙලා ජනතාවගේ සහය තිබෙනවා ඒ වගේම අපගේ ව්‍යවස්ථාවේ සහය ලැබෙනවා. ඉතිහාසය තුළ ඔවුන් නිවැරදි පාර්ශ්වයේ හිඳින බව තහවුරු කර තිබෙනවා" යැයි ඔහු පැවසීය.

මේ දර්ශනය තුළ ඔහු අසල සිටියේ තවත් විපක්ෂ නායකයෙකු වන ලියෝපෝල්ඩ් ලෝපෙස් ය. 2014 වසරේ ආණ්ඩුවට එරෙහි විරෝධතා අතර ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදුණේ යැයි නැගුනු චෝදනාවට වරදකරුවී මේ දක්වා ඔහු නිවාස අඩස්සියේ රඳවා තැබිණි.

ගුඅයිඩෝ වෙත සිය පක්ෂපාතීත්වය පළ කළ හමුදා සාමාජිකයින් විසින් තමන් නිදහස් කරන ලද බව ලෝපෙස් පැවසීය.

Mr López (third from right) said he had been freed by security forces who back Mr Guaidó

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ලෝපෙස් (වමේ සිට තුන්වැන්නා), ගුඅයිඩෝට හිතවත් හමුදා තමාව නිදහස් කළ බව පවසයි

ජුවාන් ගුඅයිඩෝ යනු කවරෙක්ද?

විරුද්ධ පක්ෂයේ පාලනය ඇති ජාතික සභාවේ සභාපතිවරයා වූ ගුඅයිඩෝ, තමන් අන්තර්කාලීන ජනාධිපතිවරයා බව ප්‍රකාශයට පත් කළ තැන් සිට හමුදාවේ සහය ඉල්ලා සිටියේය.

ජනාධිපති මදුරෝ "බලය පැහැර ගත්තකු" ලෙස ඔහු හැඳින්වුයේ, ඉතා අර්බුදකාරී වූ ඡන්දයකින් යළි බලයට පැමිණීම හේතුවෙනි.

ගුඅයිඩෝ පෙනී සිටින වීඩියෝ දර්ශනය කරකස් හි පිහිටි ලා කාර්ලෝටා ගුවන් කඳවුර තුළ හෝ ඒ ආසන්නයේදී අලුයම් කාලයේ පටිගත කරන ලද්දක් බව පෙනෙන්නට විය.

මේ තොරතුරුද දැනගන්න :