මධුරෝට තවත් අභියෝගයක් ; නීතිපතිත් විරුද්ධ වෙයි

නීතිපති ලුවිසා ඔර්ටෙගා ආණ්ඩුවේ ක්‍රියාමාර්ග දෝෂ දර්ශනයට ලක් කරයි

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, නීතිපති ලුවිසා ඔර්ටෙගා ආණ්ඩුවේ ක්‍රියාමාර්ග දෝෂ දර්ශනයට ලක් කරයි

පසුගිය ඉරිදා පැවැත්වුන මැතිවරණයේ දී සිදු විනැයි පැවසෙන ප්‍රෝඩා පිළිබඳව විභාග කිරීමට වෙනිසුවෙලා නීතිපතිවරිය පියවර ගැනීමත් සමඟ එරට උද්ගතව පවතින දේශපාලන ව්‍යාකූලත්වය අලුත් අදියරකට ගමන් ගනිමින් පවතී.

වෙනිසියුලා නීතිපති ලුවිසා ඔර්ටේගා ප්‍රකාශයක් කරමින්, ජාතික මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂවරුන් සම්බන්ධයෙන් විභාග කිරීමට තමා නීති නිලධාරීන් දෙදෙනකු පත් කළ බව කියා සිටියාය.

ප්‍රකාශිත මැතිවරණ ප්‍රතිඵලයේ ඇතුළත් සංඛ්‍යා ලේඛන සාවද්‍ය ඒවා වන බව බ්‍රිතාන්‍ය තාක්ෂණික ආයතනයක් විසින් චෝදනා කරනු ලැබීමෙන් පසුව නීතිපතිවරිය එම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

නීතිපතිනි ඔර්ටේගා කලක් වෙනිසුවෙලා ආණ්ඩුවේ හිතවතියක් වූ නමුත් මේවනවිට ඇය ජනාධිපති නිකොලස් මධුරෝ ඇතුළු වෙනිසියුලානු පාලනය දැඩි වචන උපයෝගී කර ගනිමින් දෝෂ දර්ශනයට ලක් කරන ස්ථාවරයක සිටින්නීය.

අලුත් මැතිවරණ ප්‍රතිඵලයට අදාළ සංඛ්‍යා ලේඛන ස්වාධීන මට්ටමින් ගණනය කරන ලෙස නීතිපතිවරිය ඉල්ලා සිටින්නීය.

නීතිපති ලුවිසා ඔර්ටේගා ආණ්ඩුවට හිතවත් අවධියේ ජනාධිපති මධුරෝ සමඟ

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, නීතිපති ලුවිසා ඔර්ටේගා ආණ්ඩුවට හිතවත් අවධියේ ජනාධිපති මධුරෝ සමඟ

අභිනවයෙන් පත්වූ වෙනිසුවෙලා පාර්ලිමේන්තුව හෙට සිකුරාදා (අගෝස්තු 04) දිව්රුම් දීමට නියමිත අතර ජනාධිපති මධුරෝ මෙම නව පාර්ලිමේන්තුව දිනා ගන්නා ලද්දේ නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ අභිලාෂයෙනි.

නීතිපතිවරියගේ ඉල්ලීම ඉදිරිපත් කෙරුණේ වෙනිසුවෙලා බලධාරීන් විසින් ප්‍රකාශිත ප්‍රතිඵලය බොරු සංඛ්‍යා දත්ත ඇතුළත් කරමින් ඡන්ද වැඩිකර පෙන්නුම් කෙරෙන්නක් බවට එම ඡන්දය විමසීමේ ක්‍රමය සපයන ලද 'Smartmatic' බ්‍රිතාන්‍ය සමාගම චෝදනා කිරීමෙන් අනතුරුවයි.

වෙනිසුවෙලා මැතිවරණයේ දී ඡන්දය විමසීමේ තාක්ෂණික පහසුකම් සම්පාදනය කරන ලද්දේ එම සමාගම විසිනි.

එහෙත් ජනාධිපති නිකොලස් මධුරෝ එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන ජනාධිපති නිකොලස් මධුරෝ තම ජයග්‍රහණය හෑල්ලු කිරීමට කටයුතු කරන බවට විපක්ෂයට සහ වෙනත් විවේචකයන්ට චෝදනා කළේය.

"මේ මැතිවරණයට සහභාගී වුනේ ඡන්දදායකයන් මිලියන හත හමාරක්ය කියල කියන්න බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකානු සමාගම් උත්සාහ කරනවා. මේක අපේ මැතිවරණය කැළැල් කිරීමේ සැලැස්මක්. මේ මැතිවරණයට මඩ ගහන්න කාටවත් බැහැ. මෙය විනිවිද පේන, එසේම මැතිවරණයට පෙර සහ පසුව හොඳින් අධීක්ෂණය කෙරුණ ඡන්ද විමසීමක්" ජනාධිපති නිකොලස් මධුරෝ කියා සිටියි.

ඡන්දය දීම සඳහා මිලියන දහයක පමණ ජනකායක් පැමිණි අතර ඔවුන්ගෙන් මිලියන අටකට අධික ජනකායක් ඡන්දය දීමට සමත් වූ බවත් ජනාධිපතිවරයා පවසයි.

"අනිත් ජනතාව විරෝධතාවාදීන්ගේ මාර්ග බාධක වලට ප්‍රචණ්ඩ ප්‍රහාරවලට මැදිවුණා. හතළිහකට අසන්න පරිපාලන කලාපවල ජනතාව මාර්ග බාධක ,ගිනි තැබීම් සහ බෝම්බ ප්‍රහාරවලට ගොදුරු වුනා. දිස්ත්‍රික්ක දහයකින් වෙඩි තැබීම් වාර්තා වුනා. අඩුතරමින් මිලියන දෙකක් තරම් ජනකායකට ඡන්ද දී ගන්න බැරි වුනා" එය ජනාධිපති නිකොලස් මධුරෝගේ ඇස්තමේන්තුවයි.

නීතිපතිවරියට සහයෝගය දෙන කණ්ඩායමක්

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, නීතිපතිවරියට සහයෝගය දෙන කණ්ඩායමක්

මේ අතර 'Smartmatic' මැතිවරණ තාක්ෂණ ආයතනය ප්‍රධාන චෝදනා දෙකක් කරයි.

ඔවුන්ගේ ඒක චෝදනාවක් වන්නේ වෙනිසුවෙලා ආණ්ඩුව මැතිවරණයට සහභාගී වූ ඡන්දදායක සංඛ්‍යාව වැඩි කර පෙන්වන්නේය යන්නයි.

දෙවැන්න, සැබෑ ලෙසම මහ මැතිවරණයට සහභාගී වූ ජන සංඛ්‍යාව සහ ආණ්ඩුව විසින් ප්‍රකාශිත සංඛ්‍යා අතර ඡන්දදායකයන් දශ ලක්ෂයක වෙනසක් පවතින බවටයි.

එසේම ,ප්‍රකාශිත ප්‍රතිඵලය අනුමත කළ නොහැකි බවත් 'Smartmatic' ආයතනය පවසයි.

එම ප්‍රකාශනය නිකුත් කරනු ලැබීමෙන් අනතුරුව අදහස් පළකළ නීතිපති ලුවිසා ඔර්ටේගා,ජාතික මැතිවරණ මණ්ඩලයේ අධ්‍යක්ෂ වරුන් පස්දෙනාගේ කටයුතු අධීක්ෂණයට ද්වි පුද්ගල නීති කමිටුවක් පත් කළාය.

" මේ අන්ත දූෂිත ක්‍රියාවත් සමඟ මෙතෙක් මුහුණ දුන් ප්‍රචණ්ඩ තත්වයටත් වඩා බරපතළ ගැටුමක් කරා අපේ රට ඇද වැටේවි" නීතිපතිවරිය එම කමිටුව පත්කරමින් CNN මාධ්‍ය හමුවක දී කියා සිටියාය.

මැතිවරණය පැවැත්වුනේ ප්‍රචණ්ඩ විරෝධතා මැදයි

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, මැතිවරණය පැවැත්වුනේ ප්‍රචණ්ඩ විරෝධතා මැදයි

ජාතික මැතිවරණ මණ්ඩලය ජනාධිපතිවරයාගේ අභිමතාර්ථයන් ඉටු කිරීමට සැදී පැහැදී සිටින්නන් සමඟ කල්ලි ගැසී ඇති බවට විවේචකයෝ චෝදනා කරති.

ඉරිදා පැවැත්වූ මැතිවරණයේ නීත්‍යානුකූල භාවය පිළිබඳවත් නීතිපති ලුවිසා ඔර්ටේගා විසින් ප්‍රශ්න කරනු ලැබ ඇත.

එහෙත් ඇය විසින් නිර්දේශ කරනු ලැබ ඇති පරීක්ෂණය පෙරට යනු ඇද්ද යන්න පැහැදිලි නැත.

නීතිපතිවරිය මින් පෙරත් වෙනිසුවෙලා ආණ්ඩුවේ විධායක තීන්දු වලට අවහිර කර ඇතත් මධුරෝ පාලනයේ හිතවත්තු ඇයට පෙරලා දැඩිලෙස පහර දුන්හ.

නීතිපතිවරිය පදවියෙන් පන්නා දැමීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණකැයි ජනාධිපති මධුරෝගේ සගයකු වන ජෝර්ජ් රොඩ්රිගෝස් පවසයි.

ඔහුගේ මතය පරිදි "නීතිපති ලුවිසා ඔර්ටේගා අතීතයක්" පමණි