ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉස්ලාමීය අන්තවාදීන්ට ස්ත්‍රිය 'රහසිගත අවියක්' වූ හැටි
ත්‍රස්තවාදය පිළිබඳ ප්‍රවෘත්තියක් පළවෙද්දී කාන්තාවක් පිළිබඳව ලියැවී ඇත්නම් ඒ බොහෝ විට ත්‍රස්තවාදයේ ගොදුරක් බවට පත්වූ ස්ත්‍රියක් පිළිබඳවය.
එසේ නැතහොත් ත්‍රස්ත තර්ජනය සමනය කිරීමට මැදිහත්කාරියක ලෙස කටයුතු කරන කාන්තාවක පිළිබඳවය.
නමුත් අන්තවාදය හා ක්‍රියාකාරීව සිටින හෝ ඊට සහයෝගය දෙන ස්ත්‍රීන් පිළිබඳව වාර්තා වූයේ කලාතුරකිනි.
මෙම තත්වය වෙනස් වන්නට පටන් ගත්තේ ශමිමා බෙගම් නමැති නව යෞවනිය ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට එක් වීම සඳහා එක්සත් රාජධානියෙන් පලා යාමත් සමගය.
වසර හතරකට පමණ පසු ශමිමා බෙගම් පිළිබඳව නැවත ප්‍රවෘත්ති පළවන්නට පටන් ගත්තේ ඇය ගැබිනියකව, සිරියාවේ සරණාගත කඳවුරක සිටියදීය.
මෙම ප්‍රවෘත්තියත් සමඟ, ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට සහ තවත් එවැනි අන්තවාදී කණ්ඩායම්වලට කැමැත්තෙන් එක්වන ස්ත්‍රීන් පිළිබඳව කතිකාවක් ගොඩ නැගිණි.
අප්‍රිකාවේ අන්තවාදී කණ්ඩායම්වලට බැඳෙන පිරිසෙන් 17%ක් පමණ ස්ත්‍රීන් බව එක් සමීක්ෂණ වාර්තාවක් (Rusi analysis) සඳහන් කරයි.
තවත් වාර්තාවක සඳහන් වන්නේ ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට බැඳෙන විදේශිකයන්ගෙන් 13%ක් කාන්තාවන් බවය.
නිශ්චිත සංඛ්‍යා ලේඛන නොමැති අතර සත්‍ය ප්‍රතිශතය මීට වඩා ඉහළ විය හැක.
ලිංගික වහලුන්
මින් එක් සමීක්ෂණයක දී (Rusi-backed studies), ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට සහ අල් ශබාබ් සංවිධානයට එක්වී කටයුතු කරන කාන්තාවන් කිහිප දෙනෙකු සමඟ කතාබහ කිරීමට සමීක්ෂකයන්ට අවස්ථාව ලැබී තිබේ.
මෙම කාන්තාවන්ට පැවරී තිබෙන රාජකාරි විවිධාකාර ය.
අල් ශබාබ් සංවිධානයේ කාන්තාවන් බොහෝ විට කටයුතු කරන්නේ සටන්කරුවන්ගේ බිරිඳක ලෙස හෝ ගෘහාශ්‍රිත වැඩ කටයුතුවලට සහයෝගය දීම වැනි සාම්ප්‍රදායික කර්තව්‍යයන් ය.
ඇතැම් කාන්තාවන්ට ලිංගික වහලුන් වශයෙන් ද සේවය කිරීමට සිදු වේ.
ඇතැම් කාන්තාවන් යොදවා ඇත්තේ මෙම සංවිධානවලට නව සාමාජිකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා උපායශීලීව අන් අය සමඟ ඇසුරු කිරීමට ය.
ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය සිය සාමාජිකාවන්ගෙන් පිරිසක් යොදවා ඇත්තේ අන්තර්ජාලය හරහා තම සංවිධානයට නව සටන්කරුවන් ඒකරාශී කර ගැනීම සඳහා ය.
ශමිමා බෙගම් ද ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය වෙනුවෙන් ප්‍රචාරක කටයුතු සිදු කර ඇති බවට වාර්තා විය. නමුත් ඇය කියා සිටින්නේ තමන් බිරිඳක වශයෙන් පමණක් තම නිවසේ කටයුතු ඉටු කළ බවය.
ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය විසින් ඇතැම් කාන්තාවන් යොදවනු ලැබ තිබුණේ වෛද්‍යවරියන් සහ සෞඛ්‍ය සේවිකාවන් ලෙස කටයුතු කිරීම සඳහා ය.
කාන්තා මිලිටරි පොලිස් බලකායක් ද ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය සතුව තිබුණි.
මරාගෙන මැරෙන බෝම්බකාරියන්
මෑතක දී අයි එස් සංවිධානය සතුව ඉරාකයේ සහ සිරියාවේ තිබූ බලය ගිලිහී යමින් තිබියදී ඉදිරි පෙළ සටන් බිමට ද කාන්තාවන් යෙදවීමට ඔවුහු කටයුතු කළහ.
සෝමාලියාවේ ක්‍රියාත්මක වන අල් ශබාබ් සංවිධානය ද තම සටන් බිමට ස්ත්‍රීන් යොදවා ගත්තේය.
ඉන් නොනැවතුණු ඔව්හු මරාගෙන මැරෙන බෝම්බකාරියන් ද යෙදවූහ.
අල් ශබාබ් සංවිධානය විසින් 2007 සහ 2016 අතර කාලය තුළ එල්ල කරන ලද මරාගෙන මැරෙන ප්‍රහාරයන්ගෙන් 5%ක් සිදු කරනු ලැබ ඇත්තේ කාන්තාවන් විසිනි.
නයිජීරියාවේ බොකෝ හරාම් අන්තවාදී සංවිධානය ද සිය මරාගෙන මැරෙන ප්‍රහාරයන් සඳහා කාන්තාවන් යොදවා ගත්තේය.
ඇතැම් කාන්තාවන් මෙම සංවිධාන සඳහා බලහත්කාරයෙන් යොදවා ඇති අතර ඇතැම්හු ස්ව කැමැත්තෙන් ම බැඳෙති.
ශමිමා බෙගම්ගේ කතාව
මීට සිව් වසරකට පෙර එනම් 2015 දී ශමිමා බෙගම් මහා බ්‍රිතාන්‍යයේ සිට සිරියාවට පලා ගියේ සිය මිතුරියන් දෙදෙනෙකු ද කැටුව ය. සිරියාවට පලා යද්දී ඇය පාසල් ශිෂ්‍යාවක් වූවාය.
ඇය සිරියාවට ඇතුළුවීමෙන් පසු රකා නුවරට ගොස් තිබේ. ඉස්ලාමීය සටන්කරුවන් විවාහ කර ගැනීම සඳහා පැමිණි තවත් ගැහැණු ළමුන් තමා රැඳී සිටි නිවසේ සිටි බව ශමීමා ප්‍රකාශ කළාය.
"ඉංග්‍රීසි කතා කරන වයස අවුරුදු 20ත් 25ත් අතර සටන්කරුවෙක් විවාහ කර ගැනීම සඳහා මම ඉල්ලීමක් කළා," ඇය පැවසුවාය.
දින 10කට පසුව ඇය විවාහ වී ඇත්තේ ඉස්ලාම් ආගම වැළඳ ගෙන සිටි ඕලන්ද ජාතිකයෙකු සමඟ ය.
එවක් පටන් ඔහු සමඟ ඇය ජීවත් වී ඇත්තේ සිරියාවේ නැගෙනහිර ප්‍රදේශයේ ය.
වසර හතරකට පමණ පසු ශමිමා බෙගම් පිළිබඳව නැවත ප්‍රවෘත්ති පළවන්නට පටන් ගත්තේ ඇය ගැබිනියකව, සිරියාවේ සරණාගත කඳවුරක සිටියදී ය.
ඒවන විට ඇයගේ කුසෙහි සිටි දරුවා ප්‍රසූත කිරීම සඳහා නැවත බ්‍රිතාන්‍යයට පැමිණීමට අවශ්‍ය බවට ශමීමා බෙගම් ඉල්ලීමක් කළාය.
ඇය මේ බව පවසා තිබුණේ ටයිම්ස් පුවත්පතට ලබා දුන් සාකච්ඡාවකදී ය.
නමුත් "යමෙකු විදේශගත වී ත්‍රස්තවාදී සංවිධානවලට සහයෝගය දුන්නේ නම්" එම තැනැත්තා නැවත බ්‍රිතාන්‍යයට ඇතුළුවීම වැළැක්වීම සඳහා තමා නොපැකිළෙන බව බ්‍රිතාන්‍යයේ ස්වදේශ කටයුතු පිළිබඳ ලේකම්වරයා ප්‍රකාශ කළේය.
තමන් සමඟ බ්‍රිතාන්‍යයෙන් පලා ගිය මිතුරියන් දෙදෙනා යුද්ධයේ දී මිය ගිය බව ශමීමා පවසන නමුත් එය සනාථ කිරීම සඳහා වෙනත් සාක්ෂියක් තවම ලැබී නොමැත.
කෙසේ වෙතත් ශමීමා පසුගිය මාර්තු මාසයේ දී සිරියාවේ සරණාගත කඳවුරේ සිටියදී සිය දරුවා ප්‍රසුත කළ බවත් සති තුනක අවෑමෙන් බිලිඳා මිය ගිය බවත් වාර්තා විය.
එරට බලධාරීන් වාර්තා කර තිබුණේ අලුත උපන් බිලිඳාට නියුමෝනියාව වැළඳී තිබුණු බවය.