ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
IS නායකයාට මොකද වුණේ?
තම හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ නායකයා මරණයට පත්වී ඇත්දැයි සොයා බැලීමට රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පරීක්‍ෂණ පවත්වයි.
පසුගිය මැයි 28වැනිදා රුසියානු හමුදා එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් IS නායක අබු බකර් අල්-බග්දාදි ඇතුළු කැරලිකරුවන් 330 දෙනෙකු පමණ මරණයට පත්වන්නට ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කළේය.
ඔවුන් කියා සිටියේ සිරියාවේ රඛා නුවර පැවති IS සන්නද්ධ අංශයේ රැස්වීමක් ඉලක්ක කරගෙන මෙම ගුවන් ප්‍රහාරය එල්ල කළ බවය.
මෙම රැස්වීමට IS අණදෙන නිලධාරීන් 30 දෙනෙකු සහ IS සොල්දාදුවන් 300ක් පමණ සහභාගී වී ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ නායක අබු බකර් අල්-බග්දාදි මෙම රැස්වීමට සහභාගී වී සිටි බව විවිධ පාර්ශව ඔස්සේ තහවුරු කරගෙන ඇති බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.
කෙසේ නමුත් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ නායකයා මරණයට පත් වී ඇති බවට මීට පෙරද කිහිප වතාවක් ම වාර්තා පළවී තිබේ.
පසුගිය කාලය ඇතුළත බග්දාදි සිටින ස්ථානය පිළිබඳව කිසිවෙකු නිශ්චිතව දැන සිටියේ නැත.
නමුත් ඔහු ඉරාකයේ මොසුල් නුවර සිටින බවට, එම ප්‍රදේශය නැවත අල්ලා ගැනීමට 2016 දී ඇමරිකානු හමුදා මූලිකත්වයෙන් හමුදා මෙහෙයුම් දියත් කරන තුරු විශ්වාසයක් පැවතුනි.
රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණේ IS නායකයා "සැතපුම් දහස් ගණනක් විශාල වූ කාන්තාරයක" සැඟවී සිටින බවට විශ්වාස කරන බවය.
ඔහු අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිටි අවස්ථාව දැක්වෙන වීඩියෝ පටයක් 2014 ජුනි මාසයේදී නිකුත් විය. ඒ IS සංවිධානය විසින් මොසුල් නුවර අල්ලා ගනු ලැබූ අවස්ථාවේදී ය.
එවක් පටන් එම ප්‍රදේශයේ සැළකිය යුතු භූමි භාගයක් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය අතින් ගිලිහෙන්නට පටන් ගත්තේ එක්සත් ජනපද සහ රුසියානු හමුදා විසින් සිදුකරනු ලබන ගුවන් ප්‍රහාරයන් දැඩි වන්නට පටන් ගත් හෙයිනි.
IS නායකයා යටතේ උප තනතුරු හෙබවූ සියලුදෙනා ම මරා දැමූ බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් පසුගිය මාර්තු මාසයේ දී ප්‍රකාශ කළේය.
අබු බකර් අල්-බග්දාදි - මේ කවුද?
- බග්දාදී යනු තමන්ගේ සත්‍ය නම වෙනුවට යොදාගත් අන්වර්ථ නාමයක් විය හැකි බවට විශ්වාසයක් පවතී.
- ඔහු 1971 දී ඉරාකයේ උතුරුකරයේ සමාරා ප්‍රදේශයේ උපත ලබා ඇති බවට විශ්වාස කෙරේ.
- 2003 දී ඇමරිකානු හමුදා විසින් එම ප්‍රදේශය ආක්‍රමණය කරනු ලැබූ අවස්ථාව වන විට එහි පිහිටි මුස්ලිම් දේවස්ථානයක පූජකවරයෙක් ලෙස බග්දාදී කටයුතු කරමින් සිට ඇති බවට වාර්තා වෙයි.
- නමුත් ඇතැමුන් විශ්වාස කරන්නේ සදාම් හුසේන්ගේ පාලන සමයේ දී පවා බග්දාදී, ජිහාඩ් සටන් කණ්ඩායමක සාමාජිකයෙකුව සිටි බවය.
- ඉරාකයේ දකුණු ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ඇමරිකානු සිර කඳවුරක අල්ඛයීඩා සාමාජිකයන් සමඟ වසර හතරක් සිරගත වී සිටිය දී ඔහු අන්තවාදියෙකු බවට පත්වී ඇති බවට ද විශ්වාසයක් පවතී.
- මොහු ඉරාකයේ අල්ඛයීඩා නායකයා වශයෙන් ඉදිරියට පැමිණි අතර 2010 දී ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය බිහිවෙද්දී තම කණ්ඩායම ද ඊට එක්විය.
- 2011 ඔක්තෝම්බර් වනවිට බග්දාදී "ත්‍රස්තවාදියෙකු" බව එක්සත් ජනපදය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.
- ඔහු පණපිටින් අල්ලා ගැනීමට හෝ මරා දැමීම සඳහා ඔත්තුවක් සපයන අයෙකුට ඩොලර් කෝටියක ත්‍යාගයක් ලබා දෙන බව එක්සත් ජනපදය නිවේදනය කළේය.
- ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය ඉරාකයේ දෙවන විශාලතම ප්‍රදේශය වන මොසුල් අල්ලා ගැනීම සඳහා සටනක යෙදී සිටියේය.
- 2014 ජුනි මාසයේදී මොසුල් නුවර IS කැරලිකරුවන් අතට පත්විය.
- එවක් පටන් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය, බටහිර රටවල නගර කිහිපයකම ප්‍රහාර දියත් කර තිබේ. 2015 නොවැම්බරයේදී පැරිසියට එල්ල කළ ප්‍රහාරය ඉන් එකකි.