නොබෙල් සාම ත්‍යාගය: ස්වීඩනයේ 16 හැවිරිදි පාසල් දැරියක ගේ නමත් යෝජනා වේ

ඡායාරූප මූලාශ්‍රය, AFP
මේ වසරේ නොබෙල් සාම ත්‍යාගය සඳහා ගියෙටා තුන්බර්ග් (Greta Thunberg) නම් ස්වීඩනයේ 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකගේ නම ද යෝජනා වී තිබේ.
ඇය මේ සඳහා යෝජනා කර ඇත්තේ දේශගුණ විපර්යාසයට (Climate change) එරෙහිව සටන් වදින ජාත්‍යන්තර ව්‍යාපාරයකට සිය දායකත්වය ලබාදීම වෙනුවෙනි.
ඇය ඒ සඳහා යෝජනා කර ඇත්තේ නොර්වේ රාජ්‍යයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු විසිනි.
ඇය ජයග්‍රහණය කළහොත් නොබෙල් සාම ත්‍යාගය දිනාගත් ළාබාලතම පුද්ගලයා ඇය වනු ඇත.
පාකිස්තානයේ මලාලා යුසෆ්සායි නොබෙල් ත්‍යාගය දිනාගන්නා විට වයස අවුරුදු 17 කි.
ට්වීටර් පණිවුයක් නිකුත් කරමින් ගියෙටා තුන්බර්ග් පැවසුවේ සිය නම යෝජනා වීම "ගෞරවයක්" ලෙස සලකන බවය.

ඡායාරූප මූලාශ්‍රය, EPA
දේශගුණ විපර්යාසයන් ට එරෙහිව ලොව පුරා රටවල් 100 කට වැඩි ප්‍රමාණයක පාසල් දරුවන් සිකුරාදා (මාර්තු 15) පන්ති වර්ජනයකට සූදානම් වන බව බීබීසී සේවය වාර්තා කළේය.
මෙම පාසල් දැරිය #FridaysForFuture හෑෂ් ටැගය යටතේ අරඹන ලද "Fridays For The Future" ව්‍යාපාරය මගින් එම පන්ති වර්ජනය සංවිධානය කර තිබේ.
දේශගුණ විපර්යාසයන්ට එරෙහිව ජර්මනිය, බෙල්ජියම, එක්සත් රාජධානිය, ප්‍රංසය, ඕස්ට්‍රේලියාව සහ ජපානය යන රටවල පාසල් දරු දැරියෝ විටින් විට පන්ති වර්ජන කළහ.
එහෙත් සිකුරාදා පැවැත්වෙන පන්ති වර්ජනය ඉන් වඩාත් විශාල එකක් වනු ඇතැයි සැලකේ.
ඇය ප්‍රථම වරට පන්ති වර්ජනයක් සංවිධානය කළේ පසු ගිය අගෝස්තු මාසයේය.
එය පැවැත්වුණේ ස්වීඩන පාර්ලිමේන්තුව ඉදිරිපිටය.
එතැන් සිට විටින් විට ඇය සිකුරාදා දිනවල පන්ති වර්ජනය කළාය.
කියවන්න:

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඇය වෙත ලෝක අවධානය යොමු වූයේ පසුගිය දෙසැම්බර් මාසයේ පෝලන්තයේ පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණ සාකච්ඡා සහ ජනවාරියේ දී ඩාවොස් ආර්ථික සමුළුව ඇමතීමෙන් පසුවය.
ජාතික මට්ටමේ දේශපාලකයින්, ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති නිලධාරීන්, විද්වතුන් සහ මීට පෙර නොබෙල් සාම ත්‍යාගය ජයග්‍රහණය කළ පුද්ගලයන්ට එම ත්‍යාගය සඳහා නම් යෝජනා කිරීමේ හැකියාව තිබේ.
මෙහි ජයග්‍රාහකයා ඔක්තෝබර් මාසයේ ප්‍රසිද්ධ කෙරෙන අතර ත්‍යාගය නෝර්වේ අගනුවර වන ඔස්ලෝ හීදී දෙසැම්බර් මාසයේදී ත්‍යාගය ප්‍රදානය කෙරේ.
2019 නොබෙල් සාම ත්‍යාගය සඳහා 301ක් දෙනෙකු ගේ නම් යෝජනා වී තිබේ.
ඒ අතර පුද්ගලයින් 223 දෙනෙක් සහ ආයතන 78ක් ඇතුළත් බව නොබෙල් ත්‍යාග කමිටුව පවසයි.
කියවන්න:









