ව්‍යාජ පුවත්වලට එරෙහිව වට්ස් ඇප් පණිවුඩ හුවමාරුව සීමා කරයි

WhatsApp logo

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

වට්ස් ඇප් පණිවුඩ සේවාව (WhatsApp) භාවිත කරන්නන් වෙත ලැබෙන ඕනෑ ම ආකාරයක තනි පණිවුඩයක් යළි වෙනත් පුද්ගලයන් වෙත යැවීම (Forward) වාර 5කට පමණක් සීමා කිරීමට එම සමාගම කටයුතු කර තිබේ.

වට්ස් ඇප් පණිවුඩ සේවාව විසින් එවැනි පියවරක් ගනු ලැබුවේ සිය පණිවුඩ ජාලය හරහා ව්‍යාජ පුවත් පැතිර යාම වැළැක්වීමේ උත්සාහයක් වශයෙනි.

ෆේස්බුක් ආයතනයේ හිමිකාරිත්වය යටතේ ක්‍රියාත්මක වට්ස් ඇප් පණිවුඩ සේවාව මේ වන විටත් එම ක්‍රමවේදය ඉන්දියාව තුළ ක්‍රියාත්මක කර ඇත. ඒ මීට මාස හයක පෙර සිටය.

එවැනි පියවරක් ගනු ලැබුවේ, කලහකාරීන් විසින් සිදු කළ පහර දීම් ගණනාවකට වට්ස් ඇප් පණිවුඩ සේවාව හරහා පැතිර ගිය ව්‍යාජ පුවත් හේතු වී ඇති බවට වාර්තා පළ වීමෙන් අනතුරුවය.

මේ දක්වා ඉන්දියාව හැර වෙනත් රටවල සිටින වට්ස් ඇප් භාවිත කරන්නන්ට තමන් වෙත ලැබෙන පණිවුඩයක් වෙනත් පුද්ගලයන් වෙත යැවිය හැකිව තිබුණු වාර ගණන විස්සකි.

A commuter (R) walks past an advertisement reading 'sharing a lie makes u a liar' at a train station in downtown Kuala Lumpur on March 26, 2018

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ව්‍යාජ පුවත් සහ එහි ඇති අනතුර පිළිබඳ මගීන් දැනුවත් කිරීම සඳහා ක්වාලාලම්පූර් ප්‍රවාහන සේවාවල දර්ශනය කර ඇති දැන්වීමක්

යාවත්කාලීන කරන ලද වට්ස් ඇප් පණිවුඩ සේවාව හා සම්බන්ධ නීති ප්‍රකාශයට පත් කරනු ලැබුවේ, ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදීය. එරට පාර්ලිමේන්තු මැතිවරණය ලබන අප්‍රේල් මස පැවැත්වීමට නියමිතය.

ඉන්දුනීසියාව තුළ අඩවසරක කාලයක් සිදු කළ පරීක්ෂණයක ප්‍රතිඵල "ඉතාමත් සැලකිල්ලෙන්" අගැයීමට ලක් කිරීමෙන් අනතුරව, තමන් එවැනි තීන්දුවක් ගත් බව වට්ස් ඇප් පණිවුඩ සේවාව බීබීසී වෙත පැවසීය.

"අදාළ සීමාව මගින් ලොව පුරා නැවත යවනු ලබන පණිවුඩ සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමකින් කප්පාදු කර තිබෙනවා," ප්‍රකාශකයෙක් කියා සිටියේය.

මේ ගැනත් කියවන්න:

කෙසේ නමුත් සමාජය තුළ විශාල වශයෙන් හුවමාරු වන (Viral) පණිවුඩ සම්බන්ධ නව ක්‍රමවේද පිළිබඳ සිය අවධානය පළ වී ඇති බවත් ඉහත කී ප්‍රකාශකයා සඳහන් කළේය.

වීඩියෝ ශීර්ෂ වැකිය, ව්‍යාජ පුවත්: 'Share කරන්න කලින් සිතන්න'

වට්ස් ඇප් පණිවුඩ ජාලය තුළ ආරම්භ කෙරෙන කණ්ඩායමක් තුළ (Group) 256 දක්වා පිරිසකට සාමාජිකත්වය දැරිය හැක.

ඒ අනුව නව පියවර ක්‍රියාත්මක කිරීමෙන් පසු පුද්ගලයෙකුට පණිවුඩයක් යැවිය හැක්කේ තවත් පුද්ගලයන් 1,280 (5 x 256) වෙත පමණි. මීට පෙර එම සංඛ්‍යාව 5,120 ක් ලෙස පැවතුනි.

ප්‍රචාරණ සහ අසත්‍ය කරුණු අන්තර්ජාලයේ පළ කිරීම සම්බන්ධයෙන් වට්ස් ඇප් සහ ෆේස්බුක් ආයතනය යටතේ පවතින සෙසු සේවා ද විවේචනයට ලක් විය. ඉහත කී පියවර ගනු ලැබුවේ එවැනි වාතාවරණයකදීය.

මධ්‍යම යුරෝපයේ, යුක්‍රේනයේ සහ සෙසු පෙරදිග යුරෝපා රටවල ව්‍යාජ පුවත් බෙදා හල බව පැවසෙන ෆේස්බුක් පිටු සහ ගිණුම් 500 ඉවත් කළ බව ෆේස්බුක් ආයතනය පසුගිය සතියේ නිවේදනය කළේය.

එමෙන් ම එක්සත් රාජධානිය තුළ කරුණු සොයා බැලීමේ කණ්ඩායමක් සේවයට බඳවා ගත් බව ෆේස්බුක් ආයතනය මෑතකදී පැවසීය.

ශ්‍රී ලංකාවේ තත්ත්වය

ව්‍යාජ පුවත්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ෆේස්බුක් සමාජ මධ්‍යය ඔස්සේ ශ්‍රී ලංකාවේ ජාතීන් අතර අසමගිය හා ප්‍රචණ්ඩත්වය ඇති කරන ආකරයේ වෛරී ප්‍රකාශ හා ව්‍යාජ පුවත් පළ කිරීම් ඇතැම් විට දක්නට ලැබේ.

2018 වසරේ රටේ ඇතැම් ප්‍රදේශවල කලහකාරී සිදුවීම් හටගත් අවස්ථාවේදී මහජනතාව අතර වෛරී සහ වර්ගවාදී ප්‍රකාශ පතුරුවා හැරීමට සහ යම් ප්‍රචණ්ඩ ක්‍රියා සංවිධානය කිරීමට ඇතැම් පාර්ශවයන් විසින් නීති විරෝධී ලෙස සමාජ මාධ්‍ය ජාලා භාවිත කරනු ලැබූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එවක පැවසීය.

අසත්‍ය ප්‍රචාර හා වෛරී ප්‍රකාශ සිදු කළ බවට චෝදනා ලත් කිහිප දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ද ගනු ලැබිණි.

තත්ත්වය පාලනය කිරීම සඳහා, ඇතැම් සමාජ මාධ්‍ය මත තාවකාලික වාරණයක් පැනවීමට බලධාරීහු එවක කටයුතු කළහ.

තවත් පුවත්:

සිංහල භාෂාව කතාකරන පිරිස් වැඩි වශයෙන් බඳවා ගෙන ඉක්මනින් එවැනි ප්‍රකාශ ඉවත්කිරීමට කටයුතු කරන බව ෆේස්බුක් ආයතනය එවක ප්‍රකාශ කළේය.

සමාජ මාධ්‍යවල වෛරී ප්‍රකාශ වැළැක්වීම සඳහා නව නීති ගෙන ඒමට රජය කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එවක පැවසු අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද අවස්ථා ගණනාවක සමාජ මාධ්‍ය හා වෙබ් අඩවිවල සිදුකරන අසභ්‍ය වචන, වෛරී ප්‍රකාශ හා අසත්‍ය පුවත් ගැන දැඩි ලෙස අදහස් දක්වා තිබේ.

කෙසේ නමුත්, වෛරී ප්‍රකාශ මර්දනයේ මුවාවෙන් තමන්ට එල්ල වන මහජන විවේචන මර්දනයට ජනාධිපතිවරයා සහ ආණ්ඩුවට හැකි බැවින් සමාජ මාධ්‍ය පාලනයකට නීතිරීති ගෙන ඒමට කිසි ලෙසකින් අවස්ථාව ලබා නොදිය යුතු බව සමාජ ක්‍රියාකාරීහු පැවසූහ.