ඉන්දීය සුපිරි නළු අමිතාභ් බච්චන් රු. මිලියන 40 ක ගොවි ණය ගෙවා දමයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඉන්දීය ගොවීන්ගේ රුපියල් මිලියන 40 ක ණය මුදල් තමන් විසින් ගෙවා දමනු ලැබූ බව බොලිවුඩ් සුපිරි නළු අමිතාභ් බච්චන් පවසයි.
අඟහරුවාදා සිය වෙබ් අඩවියේ සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ, තමන් ගොවීන් 1398 දෙනෙකුගේ ණය ගෙවා දමමින් ඔවුන් ආරක්ෂා කළ බවය. එය "යුතුකම් ඉටු කිරීමක්" ලෙස තමන්ට දැනෙන බව ඔහු සඳහන් කර තිබිණි.
එම ගොවීන් සියලු දෙනා උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පදිංචිකරුවන් වන අතර එය අමිතාභ් බච්චන්ගේ උපන් ප්‍රදේශයයි.
දශක ගණනක් පුරා ඉන්දීය ගොවීහු නියඟය, ජලය හිඟකම, නිෂ්පාදනය අඩුවීම සහ නූතන ක්‍රම භාවිතයට නොගැනීම යන කරුණුවලින් පීඩා විඳිමින් සිටිති.
ඒ හේතුවෙන් මේ වන විට ඉන්දියාවේ දස දහස් ගණනක් ගොවීහු ණය බරින් මිරිකී සිටිති.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
මේ ගැනත් දැනගන්න:
තමන් මුහුණදෙන ගැටලු හේතුවෙන් ගොවීන් සියදිවි නසා ගැනීම්වලට නැඹුරු වී සිටි අතර, 1995 වසරේ සිට මේ දක්වා ගොවීන් 300,000 ක් පමණ සියදිවි හානි කරගෙන තිබේ.
76 හැවිරිදි අමිතාභ් බච්චන් ඉන්දියාවේ මෙතෙක් බිහිවූ වඩාත් ම ජනප්‍රිය සිනමා නළුවෙකු ලෙස සැලකේ.
ඔහු පවසන්නේ, බෑන්ක් ඔෆ් ඉන්දියා නමැති ඉන්දීය රජයට අයත් බැංකුවෙන් ණය ගත් ගොවීන්ගේ තමන් පියවූ බවය.
එහි වටිනාකම ඉන්දීය රුපියල් මිලියන 40 ට අධිකය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"මම කැමතියි මේ ණය ගෙවීම් පිළිබඳ ලිපි පෞද්ගලිකව ඔවුන් අතට ම දෙන්න," බච්චන් සඳහන් කර තිබේ.
සියලු ගොවීන් තමන් වෙසෙන මුම්බායි නගරය වෙත රැගෙන ඒම දුෂ්කර හෙයින් දුම්රියක් වෙන් කරවා ගොවීන් 70 දෙනෙකු ගෙන්වාගෙන ඔවුන් අතට සියලු බැංකු ලේඛන ලබා දීමට කටයුතු කරන බව ඔහු පවසයි.
එම ගොවීන් ලබන 26 වන දා මුම්බායිහිදී බච්චන් හමුවීමට නියමිතය.
මේ වසර මුලදී අමිතාභ් බච්චන් මුම්බායි නගරය අයත් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ගොවීන් 350 දෙනෙකුගේ ණය ගෙවා දැමීය.
තවත් පුවත්:
අමිතාභ් බච්චන් ඉන්දීය චිත්‍රපට 190කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී තිබේ. ඊට අමතරව ඔහු හොලිවුඩ් සිනමා නිර්මාණ කිහිපයකට ද දායක විය.
ඔහු ඉන්දියාවේ වඩාත් ජනප්‍රිය රූපවාහිනී වැඩහටහනක් වන Who Wants to be a Millionaire වැඩසටහනේ හින්දි නිෂ්පාදනය වන Kaun Banega Crorepati වැඩසටහන මෙහෙයවන්නා ලෙස ද කටයුතු කරයි.









