#MeToo: ලිංගික චෝදනා එල්ල වූ ඉන්දීය ඇමති එම්.ජේ. අක්බර් ඉල්ලා අස්වෙයි

මාධ්‍යවේදිනියකට ලිංගික අතවර කළ බවට #MeToo ව්‍යාපාරය හරහා චෝදනා එල්ල වී සිටින ඉන්දීය නියෝජ්‍ය විදේශ අමාත්‍ය එම්.ජේ. අක්බර් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසා ඇත්තේ, නීතියෙන් සාධාරණ විනිශ්චයක් බලාපොරොත්තු වන තමන් සදාචාරාත්මක ලෙස ධුරයෙන් ඉල්ලා අස්වන බව ය.

කෙසේ වෙතත්, ඔහු මීට පෙර පවසා තිබුණේ, අසත්‍ය චෝදනා හමුවේ තමන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් නොවන බව ය.

ලිංගික අතවර කළ බවට #MeToo ව්‍යාපාරය හරහා තමන්ට චෝදනා කළ මාධ්‍යවේදිනියකට එරෙහිව ඉන්දීය නියෝජ්‍ය විදේශ අමාත්‍ය එම් ජේ අක්බර් අපහාස නඩුවක් ගොනු කර තිබේ.

මාධ්‍යවේදිනී ප්‍රියා රමණි අමාත්‍යවරයාට කළ චෝදනාවත් සමග ඔහු "බලහත්කාරකම්" කළ බවට තවත් කාන්තාවන් කිහිප දෙනෙක් චෝදනා කළහ.

මේ අතර, නිවේදනයක් නිකුත් කරමින් මාධ්‍යවේදිනී ප්‍රියා රමණි පැවසුවේ, අසත්‍ය ප්‍රකාශ කළ බවට ඇයට එරෙහිව නගා ඇති චෝදනාවලට එරෙහිව සටන් කිරීමට තමන් "සූදානම්" බව ය.

"ඔහුට එරෙහිව කාන්තාවන් රැසක් බරපතළ චෝදනා එල්ල කර තිබියදී බියගැන්වීම් සහ හිරිහැර කිරීම් හරහා ඔවුන් නිහඬ කිරීමට" උත්සහ කිරීම පිළිබඳව "බෙහෙවින් කනස්සල්ලට පත්වන" බව ඇය සඳහන් කළාය.

මේ ගැනත් දැනගන්න:

ප්‍රියා රමණිට නඩු පැවරීමෙන් නොනැවතුණු නියෝජ්‍ය අමාත්‍ය එම් ජේ අක්බර්, තමන්ට එරෙහිව චෝදනා කළ අනෙක් කාන්තාවන්ට එරෙහිව ද නඩු පවරන බවට තර්ජනය කර තිබේ.

ඉන්දීය #MeToo ව්‍යාපාරය මගින් මේ දක්වා චෝදනා එල්ල වූ දැවැන්ත ම චරිතය නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා වේ.

ඉන්දියාවේ ප්‍රබල කර්තෘවරුන්ගෙන් අයෙකු වූ ඔහු, The Telegraph සහ The Asian Age යන ඉංග්‍රීසි පුවත්පත්වල කර්තෘත්වය දරා තිබේ.

ඔහුට එල්ල වී ඇති චෝදනා "බලහත්කාරී හැසිරීමේ" සිට සම්පුර්ණයෙන් ම ලිංගික හිරිහැර කිරීම දක්වා පරාසයක පවතී.

ඉරිදා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, ලබන වසරේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය ඉලක්ක කරගෙන මෙම චෝදනා හිතාමතා එල්ල කරන බව ය.

"මහ මැතිවරණයට මාස කීපයක් තියෙද්දී මේ කුණාටුවක් එන්නෙ ඇයි? මෙතන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වෙනව ද? ඔබ ම විනිශ්චය කරන්න" ඔහු සඳහන් කර තිබේ.

අමාත්‍යවරයාට මෙම චෝදනා පළමු වරට එල්ල වූයේ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රියා රමණිගෙනි. ඒ, ඇයට කාර්යාලයේදී මුහුණ දීමට සිදුවූ අතවරයක් සම්බන්ධයෙන් පළ කළ ලිපියක් හරහා ය.

ඇය පළ කළ මුල් ලිපියෙහි අමාත්‍යවරයාගේ නම සඳහන් කර නොතිබූ අතර, ඔක්තෝබර් 8 වන දා ඇය එම ලිපිය සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් පළ කරමින් සඳහන් කර තිබුණේ, එම ලිපිය අමාත්‍ය අක්බර් සම්බන්ධයෙන් ලියූ බව ය.

එම ට්විටර් පණිවුඩයෙන් පසුව තවත් කාන්තාවන් පිරිසක් අමාත්‍යවරයාට චෝදනා කරමින් ඉදිරියට පැමිණ තිබේ.

අමාත්‍යවරයාට චෝදනා කර ඇති කාන්තාවන්ට සහය පළ කරමින් මාධ්‍යවේදීන් සහ කාන්තාවන් විශාල පිරිසක් සමාජ මාධ්‍යවල අදහස් දක්වා තිබිණි.

තවත් පුවත්:

මේ අතර, හාස්‍යෝත්පාදක නළුවන්, මාධ්‍යවේදීන්, කර්තෘවරුන්, නළුවන් සහ සිනමාකරුවන් සම්බන්ධයෙන් චෝදනා රැසක් ද පසුගිය සතියේ සමාජ මාධ්‍යවල පළ කර තිබිණි.

ප්‍රවීණ නළු ආලෝක් නාත්, සිනමාකරුවන් වන විකාස් භාල්, සුභාෂ් ඝයි සහ සජිඩ් ඛාන් එලෙස චෝදනාවලට ලක්වූ දැවැන්ත චරිත කීපයකි. කෙසේ වෙතත්, ඔවුන් සියලු දෙනා එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.