ෆින්ලන්තයේදී මුණගැසෙන ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ව්ලදිමීර් පූතින්

Trump - Putin Summit

ඡායාරූප මූලාශ්‍රය, AFP

එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පූතින්, ලබන මාසයේ ෆින්ලන්තයේ හෙල්සින්කි අගනුවරදී මුණගැසී සාකච්ඡා කිරීමට නියමිතය.

ජූලි 16 වෙනි දින පැවැත්වෙන මෙම හමුවේදී දෙරට අතර සම්බන්ධතා සහ "ජාතික ආරක්ෂක ගැටලු රැසක්" සාකච්ඡා කිරීමට නියමිත බව ධවල මන්දිරය ප්‍රකාශ කර ඇත.

එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් මොස්කව් නුවරදී ජනාධිපති පූතින් සමග සිදු කළ සාකච්ඡාවලින් අනතුරුව දෙරටේ නායකයන් දෙදෙනා අතර හමුව පිළිබඳ බදාදා (ජූනි 27) නිවේදනයක් නිකුත් කෙරිණ.

සිරියාවේ යුද්ධය සහ යුක්රේනයේ තත්වය පිළිබඳ සිය රුසියානු මිතුරා සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව හමුව පිළිබඳ අදහස් දක්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය.

ජනාධිපති ට්‍රම්ප්ගේ ඉල්ලීමක් අනුව "සාකච්ඡා සඳහා ඇති හැකියාව" සොයා බැලීම පිණිස තමන් රුසියානු ජනාධිපතිවරයා හමුවූ බව ඇමරිකානු ආරක්ෂක උපදේශකවරයා මාධ්‍ය වෙත පැවසීය.

Trump - Putin Summit

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, රුසියානු ජනාධිපතිවරයා හමුවූ ඇමරිකානු ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන්

මෙම සමුළුවෙන් පසු රටවල් දෙක අතර සබඳතා වැඩි දියුණු කර ගැනීම නායකයන් දෙදෙනාගේම අරමුණ වී තිබේ.

"රටවල් දෙකෙහි නායකයින් එකතු වී ඔවුන්ගේ පොදු ගැටලු සහ සහයෝගිතාව පිළිබඳ සාකච්ඡා කිරීම වැදගත් වන බව ජනාධිපති ට්‍රම්ප් මෙන්ම ජනාධිපති පූතින්ගේත් හැඟීම" යැයි ජෝන් බෝල්ටන් පැවසීය.

ජෝන් බෝල්ටන් සමග පැවති සාකච්ඡාවලින් පසු ව්ලදිමීර් පූතින් ප්‍රකාශ කර සිටියේ දෙරට අතර සබඳතා නැවතත් ගොඩනැගීම සඳහා බලාපොරොත්තු සහගත තත්වයක් ඇතිවී තිබෙන බවය.

මේ තොරතුරුද කියවන්න: