කිම් ජොන් අන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් හමුව සිංගප්පූරුවේ

ලබන මස (ජුනි) 12 වෙනිදා සිංගප්පුරුවේදී තමන් උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් හමුවන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය.

සාකච්ඡා සඳහා උතුරු කොරියානු නායකයාගෙන් ලද පෙර නොවූ විරූ ආරාධනය පසුගිය අප්‍රේල් මස ඔහු විසින් පිළිගනු ලැබුවේ ලොවම පුදුමයට පත් කරමිනි.

මීට ඉහතදී දෙදෙනා ම එකිනෙකා වෙත අපහාස මෙන්ම තර්ජන ද එල්ල කළහ. උතුරු සහ දකුණු කොරියාව අතර සාකච්ඡාවලින් පසුව මේ වර්ධනීය තත්ත්වය හටගත්තේය.

නායක දෙපළ අතර හමුව පිළිබඳ ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශයට පත් කළේ උතුරු කොරියාව විසින් නිදහස් කරනු ලැබීමෙන් අනතුරුව සියරට පැමිණි ඇමෙරිකානුවන් තිදෙනා පිළිගැනීමෙන් පැය කිහිපයක් ඉකුත්ව යද්දීය.

නායක හමුව සුදානම් කිරීමට අදාළ කරුණු සාකච්ඡා කිරීමේ අරමුණින් රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ප්යොංයෑං වෙත ගොස් සිටි අතරවාරයේදී එම සිරකරුවන් තිදෙනා නිදහස් කෙරිණි.

ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රික කාර්යයන් සඳහා සිංගප්පුරුව මීට පෙර ද යොදාගෙන තිබේ. වසර 60 ට පසුව 2015 දී චීන - තායිවාන නායක සාකච්ඡා පැවැත්වුණේ ද සිංගප්පුරුවේදී ය.

ඇමෙරිකාව හා සිංගප්පුරුව අතර පවතින්නේ ඉතා සමීප සබඳතාවකි. සිංගප්පුරුව සහ උතුරු කොරියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පැවතිය ද ජාත්‍යන්තර සම්බාධක දැඩිවීමත් සමග පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී උතුරු කොරියාව සමග ඇති සියලු ආකාරයේ වෙළෙඳ සබඳතා අත්හිටුවීමට සිංගප්පුරුව පියවර ගත්තේය.