ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කිම් ජොන්ග් අන් සහ ජනාධිපති ට්‍රම්ප් හමුවීමට සූදානම්
උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් කළ ඉල්ලීමට අනුව තමන් ඔහුව හමුවන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය.
එම හමුව මැයි මාසයේදී පමණ සිදුවනු ඇතැයි යන එම විස්මය දනවන සුලු නිවේදනය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ මේ වනවිට වොෂිංටනයට ගොස් සිටින දකුණු කොරියානු නිලධාරීන් පිරිස විසිනි.
උතුරු කොරියානු නායකයාගේ පණිවිඩය ජනාධිපති ට්‍රම්ප් වෙත වාචිකව දැනුම් දුන්නේ උතුරු කොරියානු නායකයා "න්‍යෂ්ටික වැඩපිළිවෙල අත්හැරීමට කැපවී සිටිනවා" යන්න පවසමිනි.
මෙය "සාමය සඳහා වන සන්ධිස්ථානයක්" යැයි දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ - ඉන් පැවසීය.
ඔහු පෙන්වා දෙන්නේ, "අන්තර් කොරියානු සාකච්ඡාවකින් අනතුරුව ජනාධිපති ට්‍රම්ප් සහ සභාපති කිම් අතර හමුවේ නම් කොරියානු අර්ධද්වීපය පූර්ණ න්‍යෂ්ටික හරණයක් වෙත ගෙනයන අවංකව නිවැරදි මාවතකට යොමුවේවි" යනුවෙනි.
මේ සතිය මුල ප්යොංයැං අගනුවරදී උතුරු කොරියානු නායකයාව හමුවූ දකුණු කොරියාවේ ආරක්ෂක උපදේශක චුන්ග් ඉයුඉ-යොන්ග් ධවල මන්දිරයේදී ජනාධිපති ට්‍රම්ප් හමුවීමෙන් පසු ඒ පිළිබඳ නිවේදනය කළේය.
සතියේ අලුත් තත්ත්වය පිළිබඳ උතුරු කොරියාව මේ වන තෙක් නිලවශයෙන් කිසිවක් ප්‍රකාශ කර නැත.
මෙය "විශාල ප්‍රගතියක්" බව ජනාධිපති ට්‍රම්ප් පැවසුවත් ස්ථිර එකඟතාවකට එනතෙක් උතුරු කොරියාවට එරෙහි සම්බාධක තවදුරටත් එසේම පවතිනු ඇති බව ජනාධිපති ට්‍රම්ප් පැවසීය.
"නියම කරගැනීමට නියමිත ස්ථානයක හා වෙලාවක" දෙදෙනා හමුවනු ඇති බව ඔහුගේ ප්‍රකාශිකා සේරා සෝන්ඩර්ස් කියා සිටියාය.
එහෙත් මෙවැනි හදිසි සැලසුමක් සම්බන්ධයෙන් සැක සංකා පළකරන විශ්ලේෂකයෝ, සාමාන්‍යයෙන් වසර ගණනක රාජ්‍යතාන්ත්‍රික වැඩපිළිවෙලක් මුදුන් පැමිණීමේදී මෙවැනි තත්ත්වයකට ළඟාවිය හැකි බව පෙන්වා දෙති.
මෙතැනට අවේ කෙසේද?
මානව හිමිකම් උල්ලංඝනය මෙන්ම ජාත්‍යන්තරයට පටහැනි සිය න්‍යෂ්ටික වැඩපිළිවෙල හේතුවෙන් දශක ගණනාවක් පුරා උතුරු කොරියාව හුදෙකලා වී තිබිණි.
න්‍යෂ්ටික අත්හදාබැලීම් හයක් සිදුකර ඇති එමෙන්ම ඇමෙරිකාවට ළඟාවිය හැකි මිසයිල සතු උතුරු කොරියාව පැවසුවේ සිය රඳාපැවතීම උදෙසා තමන්ට ඒවා අවශ්‍ය බවය.
නමුත් දකුණු කොරියාව ශීත ඍතු ඔලිම්පික් උළෙල පැවැත්වීම සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අතින් නව ඉඩකඩක් විවරවිණි.
ඉන් අනතුරුව දකුණු කොරියාව සහ කිම් ජොන්ග් අන් අතර ප්යොංයැං අගනුවර දී ඓතිහාසික සාකච්ඡා පැවැත්විණි.
න්‍යෂ්ටික අවි සන්තකයේ තබා ගැනීම සඳහා නිසි හේතුවක් නොමැති බව හැඟෙන්නේ නම් එම අවි අත්හැරීමට උතුරු කොරියාව සුදානම් යයි නැවත සිය රට බලා පැමිණි දකුණු කොරියානු නියෝජිතයෝ පැවසූහ.
උතුරු කොරියාවේ පොරොන්දු මොනවාද?
අදාළ නිවේදනය තුළ ප්‍රධාන කරුණු හතරක් අඩංගුය:
- කිම් ජොන්ග් අන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සාකච්ඡා කිරීමට සූදානම්ය
- උතුරු කොරියාව "න්‍යෂ්ටික ආයුධ ඉවත් කිරීමට කැපවී සිටී"
- සියලුම න්‍යෂ්ටික සහ මිසයිල අත්හදාබැලීම් අත්හිටුවනු ඇත
- දකුණු කොරියානු සහ ඇමරිකානු යුද අභ්‍යාස තවදුරටත් ක්‍රියාත්මක විය යුතු බව උතුරු කොරියාවේ වැටහීමයි
මේ අතර සෝල් අගනුවර සිටින බීබීසී මාධ්‍යවේදිනී ලෝරා බිකර් පවසන්නේ සිය න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම ඉවත දැමීමට උතුරු කොරියාව මෙතෙක් පොරොන්දු වී නොමැති වීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වැදගත් බවය.
ඊට හිලව් වශයෙන් උතුරු කොරියාවෙන් කිනම් ආකාරයේ ඉල්ලීමක් ඉදිරිපත් වන්නේ දැයි යන්න පිළිබඳ තවමත් නිශ්චිත වශයෙන් පැහැදිලි වී නොමැති බවත් ඇය පෙන්වා දෙන්නීය.
මීට පෙර පැවති සාකච්ඡා අතරතුර උතුරු කොරියාව විසින් සිය න්‍යෂ්ටික සහ මිසයිල අත්හදාබැලීම් අත්හිටුවනු ලැබ තිබිණි. නමුත් ඉවසීම සීමාවකට ළඟා වීම හෝ සිය ඉල්ලීම් ඉටු නොවීම හමුවේ ඔවුන් විසින් න්‍යෂ්ටික සහ මිසයිල අත්හදාබැලීම් යළි ක්‍රියාත්මක කරනු ලැබීය.
ඉහත සඳහන් ප්‍රධාන කරුණු අතර ඇති අවසන් වගන්තිය සුවිශේෂීය. කොරියානු යුද්ධය අවසන් වීමෙන් පසු ඇමරිකාව විසින් දකුණු කොරියාව තුළ සිය හමුදා භටයන් දස දහස් ගණනක් යොදවා තිබිණි. ඇමරිකාව සහ දකුණු කොරියාව අතර පැවැත්වෙන වාර්ෂික යුද අභ්‍යාස උතුරු කොරියාවේ කෝපයට හේතු විය. යුද අභ්‍යාස සිදු කිරීම තුළින් ඇමරිකාව සහ දකුණු කොරියාව ආක්‍රමණයකට සුදානම් වන බව උතුරු කොරියාවේ විශ්වාසය විය.ඔලිම්පික් ක්‍රීඩා උළෙල අතරතුර දෙරට අතර යුද අභ්‍යාස පැවැත්වීමට නියමිතව තිබුණු නමුත් දැනට එම කටයුතු තාවකාලිකව නවතා ඇත.
ඇමරිකානු ජනාධිපතිවරයෙකු උතුරු කොරියානු නායකයෙකු කිසිදිනෙක හමු වී නොමැත.
සබැඳි යොමු: