ඔලිම්පික් : දකුණු කොරියාවට දුර්ලභ චාරිකාවක යන උතුරු කොරියානු නායකයාගේ නැගණිය

උතුරු කොරියානු නායක කිම් ජොන්ග් - අන් ගේ සොයුරිය දකුණු කොරියාවේ ප්යෝන්ග්චැන්ග් හි ලබන සිකුරාදා (පෙබ. 9) ඇරඹෙන ශිශිර ඔලිම්පික් තරගාවලියට එක්වන බව සෝල් හි සිටින ඇමතිවරු පවසති.

ශ්‍රමිකයින්ගේ පක්ෂයේ (Workers' Party ) ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක සිට පසුගිය වසරේදී දේශපාලන මණ්ඩලයට උසස්වීම් ලද කිම් යෝ-ජොන්ග්, දේශසීමාව හරහා දකුණට යන කිම් පවුලේ පළමු සමීපතම සාමාජිකයා වේ.

ශිශිර ඔලිම්පික් උළෙලේ සමාරම්භක උළෙලේදී කොරියානු දේශයන් දෙක එක ම ධජයක් යටතේ ගමන් ගනු ඇත.

උතුරු කොරියාවේ මෙම සහභාගීත්වය දෙපාර්ශවයේ සබඳතාව මෘදු කරන්නක් ලෙස දැකිය හැකිය.

කෙසේවෙතත්, අමෙරිකාවේ, ජපානයේ මෙන්ම අනෙකුත් පාර්ශ්ව මෙම තත්ත්වය දකින්නේ උතුරු කොරියාව 'ප්‍රචාරණ වැඩපිළිවෙලක්' උදෙසා ක්‍රීඩා උළෙල යොදාගන්නා ආකාරයකි.

කිම් යෝ-ජොන්ග් යනු කවුද ?

1987 වසරේ උපත ලබන්නට ඇතැයි විශ්වාස කෙරෙන ඇය නැසී ගිය නායක කිම් ජොන්ග්-ඉල් ගේ බාල ම දියණිය මෙන්ම එරට වත්මන් නායක කිම් ජොන්ග්-අන් ගේ ම සොයුරිය වන්නීය. සිය සොයුරාට වඩා වසර හතරක් පමණ බාල වූ ඇය ඔහුට වඩාත් සමීප බව කියැවේ.

ඇය, චෝ ර්යොන්ග්-හේ නම් වූ පක්ෂයේ බලසම්පන්න ලේකම්වරයාගේ පුතු සමග විවාහ වී සිටින්නේ යැයි වාර්තා වේ.

මෑත වසර කිහිපයක සිට කිම් යෝ-ජොන්ග්, වරින් වර අවධානයට ලක්වූ තැනැත්තියකි. පක්ෂයේ ප්‍රචාරණ අංශය තුළ දරනු ලබන භූමිකාව හරහා සිය සොයුරාගේ ප්‍රතිරූපය නංවාලීම ඇයගේ ප්‍රධාන රාජකාරිය වී ඇත.

උතුරු කොරියාව තුළ මානව හිමිකම් කඩකිරීම්වලට ඇති සම්බන්ධය හේතුවෙන් අමෙරිකා එක්සත් ජනපදය තවමත් ඇය අසාදු ලේඛනයට (Blacklist) ඇතුළත් කර තිබේ.

සහෝදරයාගෙන් පණිවිඩයක්?

විශ්ලේෂණය : සෝල් හි සිටින බීබීසී හි ලෝරා බිකර්

මෙය විශාල විමතියකි. කිම් යෝ-ජොන්ග් නියෝජිත කණ්ඩායමට ඇතුලත්වන බවට රාවයක් පැවතුනද එය සැබවින් ම සිදුවන බව සිතුවේ සුළු පිරිසකි. දකුණු කොරියාව සමග සබඳතා වැඩිදියුණු කරගැනීම කෙරෙහි කිම් ජොන්ග්-අන් දැඩි අවධානයක් යොමු කරන බවට ඉඟියක් ලෙස මෙය දකින්නට හැකිය.

කිම් ජොන්ග්-අන් ගේ සමීපතම සහායකයෙකු වන කිම් යෝ-ජොන්ග් සිය සොයුරාගෙන් පණිවිඩයක් ගෙන එනු ඇතැයි ද රාවයක් පවතී.

නමුත් ප්යෝන්ග්චැන්ග් වෙත පැමිණෙන්නේ නම් බාධක ගණනාවක් බිඳදමීමට ඇයට සිදුවනු ඇත. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සංචාරක අසාදු ලේඛනයේ ඇතුළත් නොවුව ද මානව හිමිකම් කඩකිරීමේ චෝදනාවලට අදාළ ඇමෙරිකානු සම්බාධකවල ඉලක්කයක් බවට ඇය පත්ව සිටින්නීය.

ඇය ක්‍රීඩා උළෙලට එක්වන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් ද ගැටලුවක් පවතී. බස් හෝ යාත්‍රා මගින් දකුණු කොරියාවට පැමිණීම සඳහා උතුරු කොරියානු ක්‍රීඩකයින්ට හා සංදර්ශකයින්ට ඉඩ සැලසීම සඳහා අමෙරිකාවෙන් මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවේ අනෙකුත් පාර්ශ්ව වෙතින් ඉල්ලීමක් කිරීමට දකුණු කොරියාවට සිදුවිය. මෙවර නැවත එසේ කිරීමට ඔවුන්ට සිදුවන්නේ කිම් ජොන්ග්-අන් ගේ ම පවුලේ සාමාජිකයෙකු වෙනුවෙනි.

මේ සංචාරය දුර්ලභ වුවක් ද ?

කිම් පරපුරේ ඍජු සාමාජිකයෙකුගේ පළමු සංචාරය මෙය වනු ඇත.

කිම් ජොන්ග්-අන් ගේ මාමණ්ඩියක වූ චැන්ග් සොංග්-තඑක් මෙන්ම මස්සිනා වූ කිම් ජොන්ග්-ඉල් දකුණු කොරියාවේ සංචාරය කර තිබුන ද ඔවුහු බේක්ඩු පවුල් ලේ නෑ පරපුරට අයත් නොවූහ. එය සුවිශේෂී තත්ත්වයක් ලෙස සැලකේ.

දකුණු කොරියාවේ පවතින රාවයකින් කියවෙන්නේ මෙම චාරිකාව කිම් යෝ-ජොන්ග් හට වඩා බලසම්පන්න තැනක් දක්වා වර්ධනය වීමේ එක් අදියරක් බවය. මේ චාරිකාවේ දී බොහෝ දුරට හමුවීමට ඉඩ ඇති දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන් වෙත ඇය සිය සහෝදරයාගේ ලිපියක් ගෙනෙන්නට ඉඩ ඇති බව ද කියැවේ.

කෙසේවෙතත්, සිකුරාරා පැවැත්වෙන ශිශිර ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවයට කිම් යෝ-ජොන්ග් එක්වනු ඇතිද යන්න පැහැදිලි නැත.

නියෝජිත පිරිසට අයත්වන්නේ කවුද ?

කිම් යෝ-ජොන්ග් ඇතුළු දේශපාලනික වශයෙන් වැදගත් ප්‍රධාන චරිත හතරක් මේ නියෝජිත පිරිසට අයත් වේ. පිරිසේ අනෙකුත් පුද්ගලයින් වන්නේ:

  • කිම් යොන්ග්-නාම්. උතුරු කොරියාවේ නාමික රාජ්‍ය නායකයා වන ඔහු පාර්ලිමේන්තුවේ සභාපතිවරයාය. රාජ්‍යතාන්ත්‍රිකයකු වශයෙන් මනා අත්දැකීම් ඇති 90 හවිරිදි කිම් යෝ-නාම් උතුරු කොරියාවේ නායකයින් තිදෙනාගේම පාලනය පිළිබඳ අත්දැකීම් ඇති අයෙකු වන අතර මින් පෙර විදේශ සංචාරවල යෙදී ඇත.
  • රි සොන්-ග්වොන්. අන්තර් කොරියානු කටයුතු පිළිබඳ උතුරු කොරියානු රාජ්‍ය ආයතනයේ ප්‍රධානියා ය. ප්‍රවීණ සාකච්ඡාකරුවකු වන ඔහු ජනවාරි මාසයේ පැවති කොරියානු සාකච්ඡාවල දී උතුරු කොරියාව වෙනුවෙන් එක්වූ ප්‍රධාන සාකච්ඡාකරු විණි.
  • චෝ හ්වි. ශ්‍රමිකයින්ගේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ උප සභාපතිවරයාවන ඔහු ජාතික ක්‍රීඩා මාර්ගෝපදේශ කමිටුවේ සභාපතිවරයා වේ. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු සම්බාධකවලට යටත් ය.

මේ තොරතුරු දැනගන්න :

උතුරු කොරියානු කණ්ඩායමට අයත්වන්නේ වෙන කවුරු ද ?

280කින් සමන්විත නියෝජිත පිරිසක් බදාදා (පෙබ. 07) දකුණු කොරියාවට පැමිණියහ.

උතුරු කොරියානු ක්‍රීඩා අමාත්‍ය කිම් ඉල්-ගුක් ප්‍රධානත්වය දරන එම පිරිසට ජය ඝෝෂා නගන්නන් (cheerleaders) 229 දෙනෙක්, ජාතික ඔලිම්පික් කමිටුවේ නිලධාරීන් සිව් දෙනෙක්, ටයිකොන්ඩෝ සංදර්ශකයින් 26ක් සහ ජනමාධ්‍යවේදීන් 21 ක් අයත්වුහ.

එරට වේලාවෙන් උදෑසන 9.28 ට බටහිර දේශසීමාව හරහා එම කණ්ඩායම පැමිණි බව යොන්හැප් පුවත් ඒජන්සිය පැවසීය.

තරගාවලියේදී උතුරු කොරියාව වෙනුවෙන් සහභාගීවන මලල ක්‍රීඩකයින් ගණන 10 කි. තවත් 12 දෙනෙක් ඒකාබද්ධ කොරියානු කාන්තා අයිස් හොකී කණ්ඩායමට එක්වෙනු ඇත.