ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඇමෙරිකාවේ ඕනෑම කොටසකට පහරදීමට නව මිසයිලයට හැකියි - උතුරු කොරියාව
සමස්ත ඇමෙරිකානු මහාද්වීපික භූමියටම ළඟාවිය හැකි නව මාදිලියේ අන්තර්මහද්වීපික බැලිස්ටික් මිසයිලයක් අත්හදා බැලූ බව උතුරු කොරියාව පවසයි.
ඒ අනුව එරට රාජ්‍ය රුපවාහිනිය පැවසුවේ න්‍යෂ්ටික බලයෙන් යුතු රාජ්‍යයක් බවට පත්වීමේ ප්යොංයැං පාලනයේ මෙහෙයුම සාර්ථකත්වයට පැමිණ ඇති බවය.
බදාදා (නොවැ 29) අලුයම දියත් කරන ලද හ්වාසොංග් - 15 මිසයිලය සිය "වඩාත් බලගතු" මිසයිලය බව ද සඳහන් කළේය.
එම මිසයිලය ජපාන මුහුදට පතිත වුවද මින් පෙර උතුරු කොරියාව අත්හදා බලන ලද ඕනෑම මිසයිලයකට වඩා ඉහළින් ඇදී ගොස් තිබේ.
උතුරු කොරියාව සැබවින්ම පවසන්නේ කුමක්ද?
උතුරු කොරියානු KCNA ප්‍රවෘත්ති ඒජන්සිය පවසන පරිදි කිලෝමීටර 4,475 (සැතපුම් 2,780) ක උස මට්ටමකට ළඟාවී ඇති මිසයිලය මිනිත්තු 53 ක කාලයක් තුළදී කිලෝමීටර 950 ක් දුර පියාසර කර ඇත.
සිරස්ව ඉහළට විදුනු මිසයිලය මීට පෙර සිදුවූවාක් මෙන් ජපානයට ඉහළින් ඇදී නොගිය අතර එරට උතුරු වෙරළ සීමාවට කිලෝමීටර 250ක් පමණ මෙපිටින් පතිත වී ඇති බව ජපාන නිලධාරීන් පෙන්වා දී තිබේ.
මිසයිලය විදීම සඳහා උතුරු කොරියානු නායක කිම් ජොං අන් පෞද්ගලිකව අනුමැතිය දී ඇති බව සදහන් කළ KCNA ප්‍රවෘත්ති ඒජන්සිය "රොකට් බලය සංවර්ධනය කරමින්, රාජ්‍යයේ න්‍යෂ්ටික බලය සපුරාලීමේ ඓතිහාසික විශිෂ්ට මෙහෙවර අප දැන් සාර්ථකව සපුරාගෙන ඇති බව ප්‍රකාශයට පත්කෙරුනා" යනුවෙන් පැවසීය.
"වගකිවයුතු න්‍යෂ්ටික බලවන්තයකු හා සාමයට ලැදි රාජ්‍යයක් වශයෙන්" උතුරු කොරියාව "ලෝක සාමය හා ස්ථාවරත්වය ආරක්ෂා කිරීමේ උතුම් මෙහෙවර වෙනුවෙන් සේවය කිරීමට හැකි සෑම ප්‍රයත්නයක්ම දරනවා" යැයි ද එම වාර්තාවේ කියැවිණි.
එය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ සිය අවි ආයුධ "ඇමෙරිකානු අධිරාජ්‍යවාදීන්ගේ න්‍යෂ්ටික අවමාන තර්ජන ප්‍රතිපතියෙන්" ආරක්ෂාවීමට අරමුණු කරගත්තක් බවය. උතුරු කොරියානු අභිලාෂයන්ට හානි නොවන තාක් එය "කිසිදු රටකට කවර ආකාරයේ හෝ තර්ජනයක් නොවේ" යැයි ද සඳහන් කෙරිණි.
උ. කොරියානු මිසයිල සැබවින්ම ඇමෙරිකාවට ළඟාවිය හැකිද ?
ඇමෙරිකාව මුලස්ථාන කොටගත් Union of Concerned Scientists නම්වූ විද්‍යාඥ එකමුතුව පවසන පරිදි ප්‍රමිතිගත ගමන් මාර්ගයක ඇදී ගියේ නම් මිසයිලයට කිලෝමීටර 13,000ක දුරක් පියාසර කළ හැක. ඒ අනුව ඊට "ඇමෙරිකා එක්සත් ජනපද මහද්වීපික භුමියේ ඕනෑම කොටසකට" ළඟාවිය හැකිය.
නමුත් එම කණ්ඩායම පෙන්වා දෙන්නේ පෙනෙන්නට ඇති පරිදි ඉතා සැහැල්ලු ආකෘතිකමය යුද ශීර්ෂයක් මිසයිලයෙහි වූ බවය. එහි අර්ථයනම් මෙතරම් දුරක් යාමේදී බරින් වැඩි යුද ශීර්ෂයක් රැගෙන යාමේ හැකියාව ඊට නැති බව යැයි ද ඔවුහු පවසති.
නමුත් උතුරු කොරියාව පවසන්නේ "ඇති විශාල බරැති යුද ශීර්ෂයක්" රැගෙන ඇමෙරිකාවේ ප්‍රධාන භූමියට ළඟාවීමේ හැකියාව හ්වාසොංග් - 15 මිසයිලය සතු බවය.
ජාත්‍යන්තර ප්‍රතිචාරය කෙබඳුද ?
මෙම අත්හදා බැලීම ජාත්‍යන්තරය විසින් හෙලා දකිනු ලැබූ අතර අලුත්ම තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි සැසියක් කැඳවීමට නියමිතය.
පෙර නොවූ විරු නොවූ අයුරින් උණුසුම් තත්ත්වයක් මතු කිරීමට හේතුවූ අවි පරීක්ෂණ මාලාවක තවත් එක් අදියරකි, උතුරු කොරියාවේ නවතම අත්හදා බැලීම. සිය හයවෙනි න්‍යෂ්ටික අත්හදාබැලීම කළ පසුගිය සැප්තැම්බරයෙදීම උතුරු කොරියාව අවසන් වරට බැලිස්ටික් මිසයිලයක් අත්හදාබැලීය.
ජාත්‍යන්තර හෙලාදකීම් හා සම්බාධක හමුවේ වුවද උතුරු කොරියාව සිය න්‍යෂ්ටික හා මිසයිල වැඩපිළිවෙල තවදුරත් ඉදිරියට ගෙනයමින් සිටී.
උතුරු කොරියාවේ ප්‍රකාශයට පෙර ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් පැවසුවේ, මෙම මිසයිල විදීම "සැබවින්ම වෙනත් අවස්ථාවල කළ විදීම්වලට වඩා ඉහළට ගිහින්" යනුවෙනි. එසේම උතුරු කොරියාව ලෝක ව්‍යාප්ත තර්ජනයක් මතුකරන්නේ යැයි ද ඔහු කීය.
ජපානය හා දකුණු කොරියාව මෙම අත්හදාබැලීම හෙලාදුටු අතර තමන් ද මිසයිල අත්හදාබලීමකින් දකුණු කොරියාව ඊට ප්‍රතිචාර දක්වා තිබේ.
සමාන පුවත්: