ඓතිහාසික කොරියානු නායක හමුව: ජාත්‍යන්තර ප්‍රතිචාර

කොරියානු රාජ්‍යයන් දෙකේ නායකයන්ගේ හමුව සම්බන්ධයෙන් ලෝක නායකයන්ගේ ප්‍රතිචාර පළ වෙමින් පවතී.

එම ඓතිහාසික හමුව පිළිබඳව ප්‍රකාශයක් කරන චීනය "කොරියානු නායකයන් දෙදෙනාගේ දේශපාලන අධිෂ්ඨානය සහ ධෛර්යය ඓතිහාසික පියවරක් ලෙස" හඳුන්වනු ලැබ ඇත.

"එම ඓතිහාසික හමුව මගින් කොරියානු අර්ධද්වීපයේ දිගුකාලීන ස්ථාවරභාවය සම්බන්ධයෙන් සංධිස්ථානයක් සනිටුහන් කෙරෙනු ඇතැයි බේජිං පාලනය බලාපොරොත්තු තබන," බව චීන විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙයි.

උතුරු කොරියාවේ මිසයිල තර්ජනයට නිරන්තරයෙන්ම ගොදුරු වෙමින් පැවති රටක් වන ජපානයේ අගමැති ෂින්සෝ අබේ (Shinzo Abe) ප්‍රකාශයක් කරමින්, කොරියානු රාජ්‍යයන් දෙකේ නායක හමුව විග්‍රහ කර තිබුණේ "ශුභවාදී පියවරක්" ලෙසය.

තව දුරටත් අදහස් දක්වන ජපානයේ අගමැතිවරයා "දෙන ලද ප්‍රතිඥා ඉටු කිරීමෙහි ලා 'පියෝන්ග්යැන්' පාලනය ස්ථිරසාර ක්‍රියාමාර්ග ගනු ඇතැයි දැඩිව බලාපොරොත්තු තබන" බවත් සඳහන් කරයි.

මේ අතර 'ට්විටර්' පණිවුඩයක් නිකුත් කරන ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙසේ සඳහන් කර තිබිණි.

"සිදු වෙමින් පවතින්නේ යහපත් දෙයක්. එහෙත් සියල්ල කාලය විසින් තීන්දු කරනු ඇත."

කොරියානු නායක හමුව යතාර්ථයක් බවට පත් කර ගැනීම පිණිස චීන ජනාධිපති ෂී ජින් පින් ලබා දුන් සහයෝගය ද අමතක කළ නොහැකි බවත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

රුසියාව විසින් කොරියානු රාජ්‍ය නායක හමුව හඳුන්වා දෙන ලද්දේ "ඉතා ශුභවාදී වර්ධනයක්" හැටියටය.

සෝල් අගනුවර සිටින බීබීසී වාර්තාකරුවෙක් තොරතුරු ඉදිරිපත් කරමින්, කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් කිරීමේ අභිප්‍රාය මුදුන් පත් කර ගනු ලබන්නේ කෙසේද? යන්න පිළිබඳ තොරතුරු තවමත් පැහැදිලි නැති බව සඳහන් කළේය.

ප්‍රකාශිත අරමුණු සම්බන්ධයෙන් කැපවීම සඳහා 'පියෝන්ග්යැන්' පාලනය තුළ පවතින උනන්දුව සම්බන්ධයෙන් බොහෝ විශ්ලේෂකයෝ සැක සහිත තත්වයක පසුවෙති.

මේ අතර ප්‍රකාශයක් කරන නේටෝ යුද හවුලේ මහලේකම් ජෙන්ස් ස්ටොල්ටෙන්බර්ග් (Jens Stoltenberg) කොරියානු නායක සමුළුවේ තීරණ සම්බන්ධයෙන් සතුට පළ කළේය.

එහෙත් තවත් ගතයුතු බොහෝ පියවර ඇති බවත් නේටෝ මහලේකම්වරයා පෙන්වා දෙයි.

සබැඳි පුවත්: