ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඩුබායි කුමරිය අතුරුදහන්: ෂෙයිඛා ලතිෆා ගැන තොරතුරු නැහැ
අතුරුදහන් වූ කුමරිය සිටින තැන පිළිබඳ තොරතුරු හෙළි කරන්නැයි 'හියුමන් රයිට්ස් වොච්' සංවිධානය ඩුබායි බලධාරීන්ගෙන් ඉල්ලයි.
ඩුබායි පාලකයාගේ දියණිය වන ෂෙයිඛා ලතිෆා, නිදහස් ජීවිතයක් ගතකිරීමේ අටියෙන් මාර්තු මසදී විදේශයකට පළා යාමට උත්සාහ කළ බව පැවසේ.
ඇය සිටි සුඛෝපභෝගී යාත්‍රාව ඉන්දියාවට ඔබ්බෙන් වූ මුහුදේදී අවහිර කරනු ලැබීමෙන් අනතුරුව යළි ඩුබායි වෙත හරවා යැවුණ බව සාක්ෂිකරුවෝ පවසති. ඉන් පසු ඇය පිළිබඳ තොරතුරක් ලැබී නොමැත.
නීතිමය කරුණු මත මේ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව ඩුබායි බලධාරීන්ගේ ස්ථාවරය වී ඇත.
වාර්තාවලින් කියවෙන්නේ ඩුබායි පාලක ෂෙයික් මොහොමඩ් බින් රෂිඩ් අල් මක්ටුම් ගේ දියණිය වන ෂෙයිඛා ලතිෆා වෙනත් රටකට පැනයාමට තැත් දැරීමේදී පැහැරගෙන යන ලද බවකි.
සිකුරාදා (මැයි 4) විකාශනය කෙරුණු බීබීසී නිව්ස්නයිට් වැඩසටහනේ විමර්ශනයකදී පැවසුණේ, හිටපු ප්‍රංශ රහස් ඔත්තුකරුවකු හා ෆින්ලන්ත ජාතික ආත්මාරක්ෂක සටන් උපදේශකවරියකගේ සහය කුමරියට ලැබී ඇති බවය.
"කුමරිය ඉන්නා තැන හෝ ඇයගේ තත්ත්වය පිළිබඳ තොරතුරු හෙළි කිරීමට අපොහොසත් වනවා නම් එය බලහත්කාරයෙන් පැහැරගෙන යාමක් වීමට ඉඩ තිබෙනවා" යැයි නිවේදනයක් නිකුත් කරමින් හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වා දුණි.
"තමන්ගේ පවුලෙන් පනවා ඇති බාධකවලින් පැනයාමට කල්පනා කරන්නේ යැයි සිය මිතුරන්ට පවසා ඇති ෂෙයිඛා ලතිෆා මාස දෙකකින් පමණ දකින්නටවත් ඇයගෙන් කිසිවක් අසන්නටවත් නැහැ. ඇයගේ ආරක්ෂාව මෙන්ම හොඳින් සිටිනවා ද යන්න ගැන බරපතල කණස්සල්ලක් පැන නැගෙමින් පවතිනවා"
එක්සත් රාජධානිය කේන්ද්‍ර කරගත් 'Detained in Dubai' සංවිධානය පෙන්වා දෙන්නේ මාර්තු 4 වෙනිදා ඉන්දීය වෙරළේ සිට කිලෝමීටර 80 ක් (සැතපුම් 50ක්) ඔබ්බෙන් ෂෙයිඛා ලතිෆා නිරීක්ෂණයට ලක්වූ බවය.
බීබීසී වෙත ප්‍රකාශයක් කළ ඩුබායි බලධාරීන්, කුමරිය අතුරුදහන් වී ඇතැයි පවසන්නන්ට අපරාධ සම්බන්ධ වාර්තා ඇති බව පැවසූහ.