එක්සත් අරාබි එමීර් රාජ්‍යය ගැන තොරතුරු

රාජ්‍ය හතක එකතුවක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) කලෙක සංවර්ධනයක් නොදුටු තැනක සිට මැදපෙරදිග කලාපයේ වඩාත් වැදගත් ආර්ථික මධ්‍යස්ථාන අතරින් එකක් බවට පත්වූ රාජ්‍යයකි.

සම්ප්‍රදායිකව ගතානුගතික බවක් ඉසිලුව ද, අනෙකුත් සංස්කෘති මෙන්ම විශ්වාසවලට ද සාමාන්‍යයෙන් ඉඩක් ඇති එක්සත් අරාබි එමීර් රාජ්‍යය ගල්ෆ් කලාපයේ වඩාත්ම ලිබරල් රටවල් අතරින් එකකි.

ගල්ෆ් දූපත් සම්බන්ධයෙන් ඇති අර්බුදය හේතුවෙන් අසල්වැසි ඉරානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර සබඳතා උණුසුම් තත්ත්වයක පවතී.

1950 ගණන්වලදී තෙල් සොයා ගැනීමට පෙර ධීවර කර්මාන්තය මෙන්ම පහළ යමින් පැවති මුතු කර්මාන්තය මත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආර්ථිකය රඳා පැවතුණේය. නමුත් 1962 දී තෙල් අපනයනය ඇරඹුණු තැන සිට රටේ සමාජය මෙන්ම ආර්ථිකය ද පරිවර්තනයකට ලක් විණි.

විවිධත්වයට පත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය කලාපීය වෙළෙඳ හා සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත්විය. එරට ආයතන විදේශවල විශාල ලෙස ආයෝජනය කර ඇත.

තොරතුරු

නායක

ජනාධිපති: ෂෙයිඛ් ඛලීෆා බින් සයෙඩ්

බටහිරට හිතැති නවීකරණවාදියකු ලෙස නමක් දිනා ඇති අබු ඩාබි හි ජනාධිපති ෂෙයිඛ් ඛලීෆා බින් සයෙඩ් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා ලෙස එහි ෆෙඩරල් කවුන්සිලය විසින් 2004 වසරේදී නම් කරනු ලැබුවේ ඔහුගේ පියා වූ ෂෙයිඛ් සයෙඩ් බින්-සුල්තාන් අල් නාහ්යන් ගේ අභාවයෙන් කෙටි කලකිනි.

අබු ඩාබි, ඩුබායි, අජ්මාන්, ෆුජයිරා, රාස් අල් ඛයිමාහ්, ශාර්ජාහ් සහ උම්ම් අල් ක්වෙයින් යන එමීර් රාජ්‍ය හත එක්ව සැදුනු එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ සැලකිය යුතු තරමේ විශාල නිදහසක් පවතින්නේයැයි කියැවේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පාලනය ගෙන යන උත්තරීතර සභාවේ සිටින අදාළ රටවල් හතේ පාලක එමීර්වරු අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය පත් කරති.

මාධ්‍ය

රූපවාහිනි සහ මාධ්‍ය සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් බවට පත්ව තිබේ. ඩුබායි හි මීඩියා සිටි (Media City) සහ ටූෆෝර්54 (twofour54) , අබු ඩාබි හි මාධ්‍ය කලාපය ගොඩනැගුනේ රොයිටර්ස්, සීඑන්එන්, සෝනි සහ ෆොක්ස් වැනි ජාත්‍යන්තර මාධ්‍ය ආයතන ආකර්ෂණය කර ගැනීමේ අරමුණ ඇතිවය.

මාධ්‍යවල තොරතුරු සම්බන්ධයෙන් දැඩි නියාමනයක් හා දේශපාලනික පාලනයක් ඇති අතර විදේශ තොරතුරු විකාශනය ද බෙදාහැරීමට පෙර වාරණයකට යටත් කෙරේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ මිලියන 8.8 ක අන්තර්ජාල පරිශීලකයින් පිරිසක් සිටින අතර අරාබි ලෝකයේ ඉහළම අන්තර්ජාල විනිවිදීමේ අනුපාතයකින් යුතුවේ. නමුත් විරුද්ධ දේශපාලන හා ආගමික අන්තර්ගත පුළුල්ව වාරණය කෙරේ.

කාල විකාශය

එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඉතිහාසයේ වැදගත් අවස්ථා:

1971 දෙසැම්බර්- බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු අබු ඩාබි, ඩුබායි, අජ්මාන්, ෆුජයිරා, ශාර්ජාහ් සහ උම්ම් අල් ක්වෙයින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලෙස එක්විණි. ෂෙයිඛ් සයෙඩ් බින්-සුල්තාන් අල් නාහ්යන් එහි ජනාධිපතිවරයා විය.

1972 - රාස් අල් ඛයිමාහ් ෆෙඩරේෂනයට එක්විය.

2006 - මුල්වරට ජාතික මැතිවරණයක් පැවැත්විණි. තෝරාගන්නා ලද සුළු ඡන්දදායකයින් පිරිසක් විසින් ෆෙඩරල් ජාතික කවුන්සිලයේ සාමාජිකයින්ගෙන් අඩක් උපදේශක මණ්ඩලයකට පත් කරගනු ලැබූහ.

2015 - යේමනයේ හුති සටන්කරුවන්ට එරෙහිව සෞදි අරාබියේ මුලිකත්වයෙන් දියත් කෙරුණු ගුවන් ප්‍රහාරවලට එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද එක් විය.