"මව්කිරි විකුණමු - දරුවා බේරාගනිමු"

China

ඡායාරූප මූලාශ්‍රය, PEAR VIDEO

ඡායාරූප ශීර්ෂ වැකිය, හදිසි අවශ්‍යතාවයකට මුදල් සොයා ගැනීම සඳහා විනාඩියකට යුවාන් දහයක් අය කරමින් තම මව් කිරි ලබා දිය හැකි බව මෙම දැන්වීමේ සඳහන් වේ.

ගිලන්ව සිටින තම දියණියගේ රෝහල් බිල ගෙවීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට මව්කිරි විකුණන මවක් පිළිබඳව චීනයෙන් වාර්තා වෙයි.

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින දියණිය සුව කරගැනීම සදහා යුවාන් 100,000 කට ආසන්න මුදලක් සොයාගත යුතු බව එම දැරියගේ දෙමව්පියන් ප්‍රකාශ කරනු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලයේ හුවමාරු වෙමින් පවතී.

චීනයේ ප්‍රධාන නගරයක ළමා උද්‍යානයකදී පටිගත කර ඇති මෙම වීඩියෝව ලක්ෂ විසි හතරකට ආසන්න පිරිසක් නරඹා ඇති අතර 5,000 කට අධික පිරිසක් එම සිද්ධිය පිළිබදව තම අදහස් ප්‍රකාශ කර ඇත.

තවත් තොරතුරු:

නිවුන් දරුවන්ගෙන් එක් දරුවෙක් දැඩි සත්කාර ඒකකයේ පසුවන බැවින් ඇයගේ රෝහල් බිල ගෙවීමට අවශ්‍ය මුදල් කඩිනමින් සොයා ගැනීමට තම මව්කිරි විකිණීමට තීරණය කළ බව මව පවසන්නීය.

"රෝහල් ගාස්තු වශයෙන් යුවාන් ලක්ෂයක් දැනට ගෙවිය යුතුව ඇති අතර, දැරිය සුව වූ පසු තවත් යුවාන් ලක්ෂයක් විතර ගෙවීමට සූදානම් විය යුතු බව" වෛද්‍යවරුන් දැනුම් දුන් බව රෝගී දැරියගේ පියා පවසයි.

නොයෙක් අක්‍රමිකතා හේතුවෙන් පසුගිය වසරවල චීනයේ සෞඛ්‍ය සේවා පද්ධතිය දෝෂාරෝපණවලට ලක් වී ඇත.

China

ඡායාරූප මූලාශ්‍රය, PEAR VIDEO

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙම කාන්තාව හඳුනාගෙන ඇති අතර මෙය සත්‍යය කතාවක් බව ෂෙන්ෂන් අන්තර්ජාල මාධ්‍යය (The Shenzhen online press)ප්‍රකාශ කරයි.

"කිරි විකුණමු, දැරිය බේරාගනිමු" යන තේමා පාඨයත් සමග සමාජ මාධ්‍ය ජාලයේ හුවමාරු වෙමින් පවතින ඉහත කී වීඩියෝ පටය බොහෝ දෙනෙකුගේ අනුකම්පාවට හේතු වී ඇත.

යම් කෙනෙකු මෙම දෙමව්පියන් පසු කරගෙන යන්නේ නම් ඔවුන්ට මුදලක් ලබා දෙන ලෙසට කෙරෙන ආයාචනයක් ද සමාජ මාධ්‍ය ජාල තුළ දැක්වෙයි.

"සමාජයේ ඉතා පහළ මට්ටමේ ජීවත් වන මිනිසුන් දරුණු ලෙස රෝගී වූ විට, ඔවුන්ට මූලික අයිතිවාසිකම් පවා නැහැ" තුන් දහසකට අධික පිරිසක් කැමැත්ත පළ කර ඇති අදහසක සදහන් විය.

නමුත් දෙමව්පියන්ගේ එකී ක්‍රියාව සමහර සමාජ මාධ්‍ය ජාල පරිශීලකයන්ගේ විවේචනයට ලක්ව ඇති අතර, එක් පුද්ගලයෙක් එය විග්‍රහ කළේ "උදව් ඉල්ලන අශ්ලීල ක්‍රමයක්" ලෙසය.

"සියලු දෙනාටම තේරුම් ගන්න පුළුවන් -ඔබට පිළිසරණක් නැහැ ඒ නිසා ආධාර බලාපොරොත්තු වෙනවා- කියල. නමුත් ඔබ කොහොමද ඔබේ ගෞරවය රැක ගන්නේ මව් කිරි විකුණන්න පටන් ගත්තාට පස්සෙ?"එය තවත් අයෙකුගේ අදහසකි.

එම විවේචනාත්මක අදහස් ප්‍රතික්ෂේප කරමින් ලියන ලද සටහනක මෙසේ සඳහන් විය.

"මේ පිළිසරණක් නොමැති බොහෝ දෙමව්පියන්ගේ ආදරය...සමාජ මාධ්‍ය ජාල තුළ පිළිකුල් සහගත දේවල් පළ කරන අය සිතන්න ඕන මේ වගේ දෙයක් ඔබේ දරුවට සිදු වුණොත්, ඔබේ ගෞරවය රැකගැනීමට සැලකිලිමත් වෙනවාද, නැත්නම් දරුවාගේ ජීවිතය රැකගන්නවාද කියල ?"

මේ තොරතුරුත් කියවන්න :