ජනාධිපති දියණියක් මව්කිරි දෙනු දැක ලෝකය කැළඹෙයි

ඡායාරූප මූලාශ්‍රය, Aliya shagieva
කිර්ගීසියාවේ ජනාධිපති අල්මාෂ්බෙක් අතම්බයෙෆ් ගේ බාල දියණිය,අලියා ෂගීවා නිරාවරණය කෙරුණ උඩුකයෙන් යුතුව සිය දරුවාට මව්කිරි පොවන ආකාරය දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය ජාලයට මුදා හරිනු ලැබීමෙන් අනතුරුව එය ලොව කලඹන විවාදයක් බවට පත්වෙමින් ඇත.
"මෙය දරුවකුට මව්කිරි පොවන දසුනක්ද? එසේත් නැත්නම් එය සරාගී හැඟීම් මතු කරන දසුනක්ද ?"
සමාජ මාධ්‍ය ජාල සංවාදය තුළ දිග හැරෙමින් පවතින විවාදයේ මාතෘකාව එයයි.
ජනාධිපතිවරයාගේ දියණිය සිය ඡායාරූපය සමාජ මාධ්‍ය ජාලයට එක් කරනු ලැබ තිබුණේ පහත දැක්වෙන පාඨයත් සමඟයි.
"මම මගේ බිළිඳාට බඩගිනි වූ ඕනෑම මොහොතක ඕනෑම තැනක මව්කිරි පොවනවා"
සිය දරුවාට මව්කිරි පොවන අවස්ථාවක් දැක්වෙන සමාජ මාධ්‍ය ජාලයේ පළ කළ සිය පිංතූරය සදාචාරාත්මක නොවන පියවරක් ලෙස දෝෂ දර්ශනයට ලක් වීමත් සමඟ අලියා ෂගීවා එම පිංතූරය මේවනවිට සමාජ මාධ්‍ය ජාලයෙන් ඉවත් කර ගනු ලැබ ඇතත්, ඇය සිය ක්‍රියාව වෙනුවෙන් පෙනී සිටිමින් එය යුක්ති සහගත කරන්නීය.
බීබීසී ලෝක සේවයේ කිර්ගීසියානු අංශය සමඟ සාකච්ඡාවකට සහභාගී වූ අලියා ෂගීවා,තම පිංතූරය මුල් කර ගත් විවාදය විග්‍රහ කළේ කාන්තා සිරුර දෙස අධි සරාගී ඇසින් බලන සංස්කෘතියේ පලයක් ලෙසයි.
"මට ලැබිච්ච ශරීරය අසැබි වූවක් නොවෙයි. එය ප්‍රායෝගික දෙයක්. මගේ ශරීරය ක්‍රියාත්මක වන්නේ මගේ දරුවාගේ ශාරීරික උවමනා සම්පූර්ණ කිරීමේ චේතනාවෙන්. එය සරාගී ලෙස ප්‍රදර්ශනය කරන්න නොවෙයි" ඇය එම සාකච්ඡාවේ දී සඳහන් කළාය.

ඡායාරූප මූලාශ්‍රය, Aliya shagiewa
එහෙත් බාහිර ලෝකය පමණක් නොව අලියා ෂගීවා ගේ පවුලේ සාමාජිකයෝ පවා ඇය සමඟ එකඟ නොවෙති.
විවාදයට ලක්වූ එම පින්තූරය ඇයගේ පියා ජනාධිපති අල්මාෂ්බෙක් අතම්බයෙෆ් මෙන්ම මව රේෂා ඇතුළු පවුලේ සාමාජිකයන් අසතුටට පත්කර ඇතිබව වාර්තා වෙයි.
"ඔව්! ඒ ගොල්ලෝ කොහෙත්ම මාත් එක්ක එකඟ නැහැ. හේතුව තේරුම් ගත හැකියි. බාල පරම්පරාව ඔවුන්ගේ දෙමව්පියන් සමඟ සංවාදය අඩුයි" අලියා ෂගීවා පැහැදිළි කරයි.
අලියා ෂගීවා තමාගේ සෙසු කළා නිර්මාණ මෙන්ම තම සැමියාගේ සහ දරුවාගේ රූ ඇතුළත් කරමින් ප්‍රවේසමෙන් සකස් කරනු ලබන නිර්මාණ සමාජ මාධ්‍ය ජාලයට එක් කරන්නියකි.
මව් කිරි දීම යළි යළිත් මතු වෙන තේමාවකි.
"මගේ දරුවාට මව්කිරි දෙනවිට මට දැනෙන්නේ මේ ලෝකයේ හොඳම දෙය මම දරුවාට දෙනවා කියලයි. මිනිස්සු මා ගැන කියන කතන්දරවලට වැඩිය මට වැදගත් වන්නේ, දරුවාගේ උවමනා තේරුම් ගනිමින් මගේ දරුවා බලා ගැනීමයි"
අලියා ෂගීවා ලෝකයට පිළිතුරු දෙන්නීය.

ඡායාරූප මූලාශ්‍රය, Aliya shagieva








