ඇෆ්ගනිස්තානයේ තවත් ප්‍රහාරයක්: ගණනාවක් මරුට

කැරලිකරුවන් විසින් ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර හමුදා පාසලක් ආසන්නයේ පිහිටි හමුදා කඳවුරක් වෙත එල්ල කරන ලද ප්‍රහාරයකින් අවම වශයෙන් හමුදා භටයන් එකළොස් දෙනෙකුවත් මරණයට පත්ව තිබේ.

එරට ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු බීබීසී වෙත අදහස් දක්වමින් කියා සිටියේ ප්‍රහාරයට ලක්ව තවත් හමුදා භටයන් දාසය දෙනෙකු තුවාල ලබා ඇති බවය.

ප්‍රහාරය සඳහා කැරලිකරුවන් පස් දෙනෙකු සම්බන්ධ වී ඇති බව සඳහන් කළ ඉහත කී ප්‍රකාශකයා, ඉන් සිව් දෙනෙකු මරා දමා ඇති බවත් එක් අයෙකු අත්අඩංගුවට පත්ව ඇති බවත් පැවසීය.

අයිඑස් සංවිධානයේ 'අමාක්' පුවත් ආයතනය වාර්තා කර තිබුණේ ප්‍රහාරයේ වගකීම එම සංවිධානය විසින් භාර ගනු ලැබ ඇති බවය.

පුපුරන ද්‍රව්‍ය පිරවූ ගිලන් රථයක් යොදා ගනිමින් පසුගිය සෙනසුරාදා (ජනවාරි 27) කාබුල් අගනුවරට එල්ල කරන ලද ප්‍රහාරයෙන් 100 අධික පිරිසක් මරණයට පත් විය.

ප්‍රහාර මාලාවක්

ඉහත කී බෝම්බ පිපිරීම ඇෆ්ගනිස්තානයේ මාස කිහිපයක් තුළ සිදුවූ දරුණුතම ප්‍රහාරය වන අතර මීට සතියකට පෙර කාබුල් නුවර හෝටලයකට එල්ල වූ තවත් ප්‍රහාරයකින් පුද්ගලයන් 22 දෙනෙකු මරණයට පත් විය.

කාබුල් නුවර සිටින බීබීසී වාර්තාකරු සෙකන්ඩර් කර්මානි පවසන පරිදි මේ වනවිට ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක තාලිබාන් සහ අයිඑස් සංවිධාන කාබුල් අගනුවර වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා ඔවුන්ගේ පූර්ණ ශක්තිය යොදවමින් සිටිති.

ඇෆ්ගනිස්තාන ආරක්ෂක අංශ එරට වෙනත් ප්‍රදේශ තුළ ලබා ඇති ප්‍රගතියට ප්‍රතිචාර දක්වමින් ඉහත කී සංවිධාන විසින් එවැනි ප්‍රහාර එල්ල කරනු ලබන බව බලධාරීහු පවසති.

හෙල්මන්ඩ් පළාතේ ඇතැම් ප්‍රදේශ තුළ ක්‍රියාත්මක තාලිබාන් කැරලිකරුවන් පලවා හැරීමට ඇමරිකානු ගුවන් ප්‍රහාරවල සහාය ලැබීම ඊට උදාහරණ වශයෙන් පෙන්වා දිය හැකි බව බීබීසී වාර්තාකරු සෙකන්ඩර් කර්මානි වැඩිදුරටත් කියා සිටී.

සබැඳි යොමු: