ඇෆ්ගනිස්ථානය: ප්‍රහාරයෙන් මරණයට පත් සංඛ්‍යාව 'සියය ඉක්මවයි'

සෙනසුරාදා (ජනවාරි 27) ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මරණයට පත් පිරිස සියයකට අධික යයි විශ්වාස කෙරේ.

පොලිස් මුර කපොල්ලක් පසුකර, රජයේ ගොඩනැගිලි සහ තානාපති කාර්යාල පිහිටි ජනාකීර්ණ වීථියක් වෙත ළඟා වීම සඳහා ප්‍රහාරකයන් විසින් ගිලන් රථයක් ධාවනය කරනු ලැබීය.

ඇෆ්ගනිස්ථාන ආණ්ඩුව විසින් ඉරිදා (ජනවාරි 28) ජාතික ශෝක දිනයක් ලෙස නම් කරනු ලැබ තිබේ.

ප්‍රහාරයෙන් මරණයට පත් පුද්ගලයන්ගේ අවමංගල්‍ය කටයුතු සිදු වෙමින් පවතින අතර ප්‍රහාරයෙන් දිවි බේරාගත් සිය පවුලේ සාමාජිකයන් සොයා ඥාතීහු රෝහල් පිරික්සමින් සිටිති.

ප්‍රහාරය පිටුපස තමන් සිටින බව දැඩි මතධාරී තාලිබාන් ඉස්ලාමීය සංවිධානය පවසයි.

ඉහත කී බෝම්බ පිපිරීම ඇෆ්ගනිස්තානයේ මාස කිහිපයක් තුළ සිදුවූ දරුණුතම ප්‍රහාරය වන අතර මීට සතියකට පෙර කාබුල් නුවර හෝටලයකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් 22 දෙනෙකු මරණයට පත් විය.

සෙනසුරාදා එල්ල වූ ප්‍රහාරයෙන් තුවාල ලද 191 දෙනාගෙන් බහුතරය පිරිමින් බව ඇෆ්ගනිස්තාන සෞඛ්‍ය අමාත්‍ය වහීඩ් මජ්‍රො (Waheed Majroh) පැවසීය.

ප්‍රහාර මාලාවක් එල්ල වීමත් සමග තවදුරටත් ඇෆ්ගනිස්තානයේ රැඳී සිටීම පිළිබඳ එරට ක්‍රියාත්මක විදෙස් ආයතන විසින් සලකා බලනු ලබමින් සිටින බව ඒඑෆ්පී (AFP) පුවත් සේවය වාර්තා කරයි.

පසුගිය පුවත්: