ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
"මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්"
හවායි දූපත්වාසීන් භීතියට පත් කරමින් නිකුත් කෙරුණ ව්‍යාජ මිසයිල් ප්‍රහාර අනතුරු ඇඟවීමක සුලමුල සොයා ගැනීම සඳහා ෆෙඩරල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ඇමෙරිකානු වාර්තා මගින් පැවසෙයි.
'බැලස්ටික්' මිසයිල ප්‍රහාරයක් ආසන්න බවට සෙනසුරාදා උදෑසන සිදු කෙරුණ අනතුරු ඇඟවීමත් සමග එහි වෙසෙන ජනතාව බලවත් කලබලයට පත්ව සිටියහ.
මිසයිල ප්‍රහාර පිළිබඳව විපරමින් සිටින 'හවායි හදිසි කළමනාකරණ පාලන ආයතනයේ' ((EMA)) නිලධාරියකු එවැනි ප්‍රහාර සම්බන්ධයෙන් අනතුරු අඟවනු ලබන බොත්තමක් ඊයේ සෙනසුරාදා (ජනවාරි 13) උදේ අටට පමණ එබීමත් සමඟ ජංගම දුරකථන ඔස්සේ මහජනයාට මිසයිල් ප්‍රහාරයක් ආසන්න බවට අනතුරු ඇඟවීම් ලැබෙමින් පැවතුණි.
"හවායි අවට 'බැලිස්ටික්' මිසයිල් අනතුරක් පවතී. වහාම ආරක්ෂක ස්ථානයක් කරා යොමු වෙන්න. මෙය පෙරහුරුවක් නොවේ" යන පණිවුඩය හවායි වැසියන්ට ඔවුන්ගේ ජංගම දුරකථන ඔස්සේ ලැබී ඇත.
ඒ සමඟ එම පණිවුඩය ගුවන් විදුලි සහ රුපවාහිනී නාලිකා මගින් ද විකාශනය කර ඇති අතර තත්වය නිවැරදි කිරීමට විනාඩි විස්සකට ආසන්න කාලයක් ගත වී තිබුණි.
ඒ අතර කාලය තුළ ආරක්ෂක ස්ථාන කරා දිවගිය ජනතාව මේවනවිට ආපසු සිය වාසස්ථාන කරා පැමිණ සිටින බවත් වාර්තා වෙයි.
ඉහත කී අනතුරු ඇඟවීමත් සමඟ තමන් මුහුණ දුන් මානසික තත්වය සහ කලබලකාරී ලෙස පදිංචි ස්ථානවලින් පළාගිය ආකාරය එම අවස්ථාවට මුහුණ දුන් ජනතාව විසින් විස්තර කරනු ලබන්නේ දැඩි ආවේගයකිනි.
සිදු වූ වරද සම්බන්ධයෙන් බලධාරීන් එකිනෙකාට වරද පැටවීමේ ප්‍රයත්නයක නිරත වෙමින් සිටින බවක් ද වාර්තා වෙයි.
සේවයේ නිරතව සිටි නිලධාරියෙක් සිය වැඩ මුරය නිමාවේ ඊට අදාළ රාජකාරිය ඊලඟ තැනැත්තාට භාර දෙන අවස්ථාවේ වැරදි බොත්තමක් එබීමෙන් ඉහත කී අනතුරු ඇඟවීමේ වරද සිදු වූ බව අලුතින්ම ලැබෙන වාර්තා මගින් පැවසෙයි.
හවායි දූපතේ එවැනි මිසයිල අනතුරක් පවතින්නේ එය උතුරු කොරියාවේ පහසු ඉලක්කයක් හෙයිනි.
අනතුරු ඇඟවීමේ පණිවුඩය ලත් ඇතැමුන් නාන කාමරවල දිය නාන බේසම්වල ද (bathtub) තවත් අය කාණු විවර (manholes )තුළත් සැඟවී ඇත.
'හවායි පැසිෆික්' සරසවියේ ශිෂ්‍යයකු වන හසන් ඩීන් අදහස් දක්වමින්, තමා සහ තවත් සිසුන් 29 දෙනෙක් කසල බඳුන්(rubbish bins) තබන කාමරයක විනාඩි 47 ක කාලයක් සැඟවී සිටි බව සඳහන් කළේය.
ඇතැම් හවායි දූපත්වාසීන් සහ සංචාරකයන් එය ඔවුන්ගේ ජීවිතවල අන්තිම හෝරාව ලෙස සිතා ඇත.
සෝවියට් අත්දැකීම
1983 සැප්තැම්බර් 26 වෙනි දා න්‍යෂ්ඨික ප්‍රහාර සම්බන්ධයෙන් අනතුරු අඟවන සෝවියට් මධ්‍යස්ථානයේ පරිගණක පද්ධතිය මත හදිසි අනතුරු ඇඟවීමක සංඥාවන් ප්‍රදර්ශනය වන්නට විය.
එදින එහි කාර්ය භාර නිලධාරියාව සිටි සෝවියට් රතු හමුදාවේ නිලධාරියෙකු වූ ස්තනිස්ලාෆ් පෙත්රෝෆ් (Stanislav Petrov) එම හදිසි අනතුරු ඇඟවීම් පිරික්සද්දී පරිගණක තිරය මත දුටුවේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට රුසියාව කරා වේගයෙන් ඇදී එන මිසයිල පෙළකි.
වහාම ක්‍රියාත්මක වූ ස්තනිස්ලාෆ් එය ව්‍යාජ අනතුරු ඇඟවීමක් බව තේරුම් ගත් අතර ඔහු එම සිද්ධිය ඉහළ නිලධාරීන්ට වාර්තා නොකිරීමට ප්‍රවේශම් විය.
ස්තනිස්ලාෆ් පෙත්රෝෆ් ඉක්මන් තීන්දුවක් ගත්තේ නම් ලෝකය පළමු න්‍යෂ්ටික යුද්ධයට මුහුණ දෙන්නේ එදිනයි.
සෝවියට් දේශයේ බල පැවැත්වුන දැඩි මාධ්‍ය වාරණය හමුවේ ඔහුගේ එම ක්‍රියාව එදා ලෝකයට අනාවරණය නොවුනත්, සෝවියට් පාලනය බිඳ වැටී සීතල යුද සමයේ පුවත් අනාවරණය වීමත් සමග ස්තනිස්ලාෆ් පෙත්රෝෆ් එදා ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන් ඔහු න්‍යෂ්ඨික යුද්ධයක් වලක්වන ලද බව ලෝකයට හෙළිදරව් විය.
සබැඳි පුවත්;