කාන්තා, පුරුෂ වැටුප් පරතරය නිසා බීබීසී සංස්කාරකවරියක් ඉල්ලා අස්වෙයි

Journalist

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ජ්‍යෙෂ්ඨ බීබීසී මාධ්‍යවේදිනිය කැරී ග්‍රේසි (Carrie Gracie)

සිය තනතුරට සමාන තනතුරු හොබවන පුරුෂයන්ට තමන්ට ලැබුණ වැටුපට වඩා 50% කට වැඩි මුදලක් ගෙවන බව පවසමින් බීබීසී යේ චීන කටයුතු පිළිබඳ සංස්කාරිකා කැරී ග්‍රේසි සිය ඉල්ලා අස්වීම නිවේදනය කළාය.

තිස් වසරක් බීබීසී මාධ්‍ය ආයතනයේ සේවය කළ ඇය සංස්කාරක පදවියෙන් ඉල්ලා අස් වුවත්, බීබීසී රූපවාහිනී ප්‍රවෘත්ති අංශයේ ඇය පෙර සිටි තනතුරට නැවත පැමිණෙන බවත් ආයතනයට දන්වා තිබේ.

එම තනතුර සදහා පුරුෂයන්ට ලැබෙන වැටුපට සමාන වැටුපක් අපේක්ෂා කරන බව පවසන කැරී ග්‍රේසි (Carrie Gracie) බීබීසී ආයතනය "රහසිගත සහ නීති විරෝධි වැටුප් ගෙවීමේ සංස්කෘතියක්" අනුගමනය කරන බවටත් චෝදනා කරන්නීය.

පසුගිය වසරේ ජුලි මස එල්ල වූ දැඩි බලපෑම් හමුවේ වාර්ෂික වැටුප පවුම් 150,000 කට වඩා ලබා ගන්නා සේවකයන්ගේ විස්තර හෙළි කිරීමට බීබීසී ආයතනයට සිදු විය.

Journalist

එහිදී වාර්ෂික වැටුප පවුම් 150,000 කට (රුපියල් කෝටි හතරකට ආසන්න ප්‍රමාණයක්) වඩා ලබා ගන්නා සේවකයන්ගෙන් තුනෙන් දෙකකට අධික පිරිසක් පුරුෂයන් බව හෙළි වීමත් සමග ග්‍රේසි පවසා සිටියේ බීබීසී ආයතනය "විශ්වාසය පිළිබඳ අර්බුදයක" පැටලී ඇති බවය.

ඇමෙරිකාවේ සිටින බීබීසී සංස්කාරක ජොන් සෝපෙල් (Jon Sopel) ගේ වාර්ෂික වැටුප පවුම් 200,000-£249,999 ක් වන අතර මැද පෙරදිග කර්තෘ ජෙරෙමි බෝවන් (Jeremy Bowen) පවුම් £150,000-£199,999 ක වාර්ෂික වැටුපක් ලබන බවට හෙළි වී ඇත.

නමුත් ග්‍රේසි ගේ වැටුප් විස්තර එම ලැයිස්තුවට ඇතුළත් වී නොමැතිවීමෙන් ගම්‍ය වන්නේ ඇය පවුම් 150,000 කට වඩා අඩු වැටුපක් ලබන බවය.

Graph
ඡායාරූප ශීර්ෂ වැකිය, 2017 බීබීසී වාර්ෂික වාර්තාවට අනුව පිරිමි සහ කාන්තා සේවකයන් අතර ඇති වැටුප් වෙනස

"බීබීසී අයිති බලපත්‍ර ගාස්තු ගෙවන ඔබ සැම දෙනාට" බව ග්‍රේසි ඇයගේ බ්ලොග් අඩවියේ පළ වූ ලිපියක සඳහන් කර තිබුණි.

"මෙම ආයතනය සමාන අයිතිවාසිකම් පිළිබඳ නීතිය කඩ කරන බව සහ අපක්ෂපාතී සහ විනිවිදභාවයකින් යුතු වැටුප් ගෙවීමේ ක්‍රමවේදයක් ඉල්ලා එල්ල කරන බලපෑම් වළක්වාලන බව දැන ගැනීමේ අයිතියක් ඔබට තියෙනවා කියා මම විශ්වාස කරනවා," ලෙස ඇය වැඩි දුරටත් පවසන්නීය.

බ්‍රිතාන්‍යයේ බල පැවැත්වෙන 2010 සමානත්මතාව පිළිබඳ පනතෙහි සඳහන් වන පරිදි සමාන රැකියාවල නිරත වන කාන්තාවන්ට සහ පිරිමින්ට එක සමාන වැටුපක් හිමි විය යුතුය.

Journalist

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ග්‍රේස් ගත් මෙම දැඩි ක්‍රියාමාර්ගයට නන් දෙසින් ප්‍රතිචාර සහ රැකියාවල නිරත වන බොහෝ කාන්තාවන්ගේ සහයෝගය ලැබෙමින් ඇති බවට වාර්තා වෙනවා

කාන්තාවන් සහ පුරුෂයන් අතර වැටුප් පරතරය හෙළිවීමෙන් අනතුරුව ග්‍රේසිගේ වැටුප පවුම් 45,000 කින් වැඩි කිරීමට බීබීසී ආයතනය සූදානම් වුවත් ඇය එය ප්‍රතික්ෂේප කර ඇත්තේ එම වැඩි කිරීමෙන් පසුවත් ඇයට සහ සමාන තනතුරු දරන පිරිමි පාර්ශවයන්ට ලැබෙන වාර්ෂික වැටුප් අතර "විශාල හිඩැසක්" ඇති බව පවසමිනි.

කෙසේ වුවත් "කාන්තාවන්ට වෙනස් ආකාරයකට සැලකීමේ ක්‍රමවේදයක් නැති," බව බීබීසී ආයතනය ඇයගේ චෝදනාවට ප්‍රතිචාරය පළකරමින් පවසයි.

කාන්තාවන්ට සම අයිතීන් ඉල්ලා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක් වන ග්‍රේස් ගත් මෙම දැඩි ක්‍රියාමාර්ගයට නන් දෙසින් බොහෝ කාන්තාවන්ගේ සහයෝගය පළවෙමින් පවතී.

මේ තොරතුරුද දැනගන්න: