රුසියානු 'සබඳතා': ජනපති ට්‍රම්ප්ගෙන් FBI වෙත වාග් ප්‍රහාරයක්

Trump

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපතිවරණයේ දී තමන්ට රුසියාවේ සහාය ලැබුණු බවට පලවන වාර්තා ජනාධිපති ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කෝපයෙන් යුතු ට්විටර් පණිවුඩ මාලාවක් නිකුත් කරමින් FBI හෙවත් මධ්‍යම විමර්ශන කාර්යාංශය දැඩි විවේචනයට ලක් කළේය.

FBI ආයතනයේ කීර්තිය විනාශ වී ඇති බව පවසන ජනාධිපති ට්‍රම්ප් එය "ඉතිහාසයේ මෙතෙක් පැවති නරකම තත්ත්වය" ලෙස විග්‍රහ කරයි.

ජාතික ආරක්ෂාව පිළිබඳ හිටපු උපදේශක මයිකල් ෆ්ලින් සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණය අත්හැර දමන ලෙස FBI ආයතනයේ හිටපු ප්‍රධානී ජේම්ස් කෝමිගෙන් ඉල්ලීමක් කළ බව ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළේය.

රුසියාව සමග පැවති සබඳතා පිළිබඳ FBI ආයතනය වෙත සාවද්‍ය ප්‍රකාශ ලබා දීම මුල් කරගනිමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂාව සම්බන්ධ උපදේශකවරයා ලෙස කටයුතු කළ මයිකල් ෆ්ලින් පසුගිය පෙබරවාරි මාසයේ දී සිය ධුරයෙන් ඉල්ලා අස්විය.

FBI ආයතනය වෙත සාවද්‍ය ප්‍රකාශ ලබා දීම පිළිබඳ ජනාධිපති ට්‍රම්ප් දැනසිටි බව ඇඟවෙන ට්විටර් පණිවුඩයක් පසුගියදා ඔහුගේ ටිව්ටර් ගිණුමේ පළ වී තිබිණි.

ජනාධිපතිවරයා වෙත එල්ලවන පීඩනය නැවතත් අලුත් වූයේ ඉන් අනතුරුවය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති ට්‍රම්ප්ගේ පෞද්ගලික නීතිඥ ජෝන් ඩවුඩ් කියා සිටියේ තමන් විසින් සටහන් තබන ලද එම ට්විටර් පණිවුඩය අත්වැරදීමක් බවය.

Then-White House National Security Advisor Michael Flynn at a joint news conference between Canadian Prime Minister Justin Trudeau and US President Donald Trump at the White House in Washington, DC on 13 February 2017.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ජාතික ආරක්ෂාව පිළිබඳ හිටපු උපදේශක මයිකල් ෆ්ලින් ඉන් ඉවත් වූයේ එම ධුරය භාර ගෙන දින විසිපහකට පසුවය

ජනාධිපතිවරණයේ සිය ප්‍රතිවාදියා වූ හිලරි ක්ලින්ටන්ගේ ඊමේල් පණිවුඩ පිළිබඳ පරීක්ෂණය මුල් කර ගනිමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් FBI ආයතනයේ අධ්‍යක්ෂවරයාව සිටි ජේම්ස් කෝමි ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කළේ පසුගිය මැයි මාසයේදීය.

ඩිමොක්‍රටික් පක්ෂය එවක කියා සිටියේ ජනාධිපති ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය හා රුසියාව අතර තිබූ බව පැවසෙන සබඳතා සම්බන්ධයෙන් FBI ආයතනය විසින් ගෙන යනු ලැබූ පරීක්ෂණ අධ්‍යක්ෂරයා සේවයෙන් පහ කිරීමට හේතු වූ බවය.

ජනාධිපතිවරණයේ දී තමන්ට රුසියාවේ සහාය ලැබුණු බවට පලවන වාර්තා ජනාධිපති ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි.

ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ඩොනල්ඩ් ට්‍රම්ප්ට වාසි සහගතවන අයුරින් හැසිරවීම සඳහා වෙබ් අඩවිවලට රහසින් ඇතුළු වූ රුසියානු හැකරුන් උත්සාහ කොට ඇති බවට චෝදනා එල්ල වේ.

සබැඳි යොමු: