'මාවෝ සේතුංට පසු වඩාත්ම ශක්තිමත් චීන නායකයා': ෂී ජින්පිං

මහජන චීනයේ නිර්මාතෘ මාවෝ සේතුං ගේ මට්ටමට ඔසවා තබමින් ජනාධිපති ෂී ජින්පිං ගේ නාමය සහ මතවාදය සිය පක්ෂ ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම සඳහා කැමැත්ත ලබා දෙමින් චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂය ඡන්දය ප්‍රකාශ කර තිබේ.

"ෂී ජින්පිං සංකල්පය" ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම සඳහා ඒකමතිකව තීන්දු කෙරුණේ චීනයේ වඩාත් වැදගත්ම දේශපාලන හමුව ලෙස සැලකෙන කොමියුනිස්ට් පක්ෂ සම්මේලනය අවසානයේදීය.

2012 බලයට පත් වූ ජනාධිපති ෂී විසින් ක්‍රමයෙන් සිය බලය තහවුරු කර ගනු ලැබ තිබේ.

ඉහත කී පියවර ගනු ලැබීමත් සමග ජනාධිපති ෂී වෙත එල්ලවන කුමන හෝ ආකාරයේ අභියෝගයක් පාලක කොමියුනිස්ට් පක්ෂයට එල්ලවන තර්ජනයක් සේ සැලකෙනු ඇත.

"නව යුගයක් සඳහා චීනයටම ආවේණික වූ ලක්ෂණ සහ සමාජවාදය සම්බන්ධයෙන් ෂී ජින්පිං සංකල්පය" චීනයේ කොමියුනිස්ට් පක්ෂ ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය සඳහා අවසන් අනුමැතිය ලබා දෙනු වස් බීජිං නුවර "මහා ශාලාවට" පක්ෂ නියෝජිතයන් 2000 අධික සංඛ්‍යාවක් රැස්වූහ.

ඒ සඳහා පැවති ක්‍රියාවලිය අවසානයේ ඊට යම් කිසි විරෝධයක් ඇත්දැයි පක්ෂ නියෝජිතයන්ගෙන් කළ විමසීමේ දී "කිසිඳු විරුද්ධත්වයක් නැහැ" යනුවෙන් සියලු දෙනා ම එක හෙලා හඬ නැගූ බව එහි සිටි මාධ්‍යවේදීහු වාර්තා කළහ.

මීට පෙර සිටි චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකයන් සිය මතවාදය හෝ දැක්ම පක්ෂ ව්‍යවස්ථාවට ඇතුළත් කළ ද මතවාදීමය ධුරාවලියේ ඉහළින්ම සිටින මහජන චීනයේ නිර්මාතෘ මාවෝ සේතුං හැර වෙන කිසිවකුත් සිය දර්ශනය සංකල්පයක් වශයෙන් ඊට ඇතුළත් කර නොතිබිණි.

මාවෝ සේතුං සහ ඩෙං ෂියාඕපිං යන නායකයන්ගේ නම් පමණක් මතවාදය සඳහා ඇතුළත් වූ අතර ෂියාඕපිං ගේ නම පක්ෂ ව්‍යවස්ථාවට ඇතුළත් කෙරුණේ ඔහුගේ අභාවයෙන් අනතුරුවය.

ලක්ෂ 900 වන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන් සමග පාසල් දරුවන්, උසස් අධ්‍යාපනය ලබන සිසුන්, සහ රජයේ කර්මාන්ත ශාලාවල සේවකයන්ට ද "ෂී ජින්පිං සංකල්පය" අධ්‍යයනය කිරීම සඳහා එක් වීමට සිදු වනු ඇත.

"නව යුගයක්" යන යෙදුම මගින් වර්තමානය නවීන චීනයේ තෙවෙනි පරිච්ඡේදය ලෙස හැඳින්වීම කොමියුනිස්ට් පක්ෂයේ අදහස වී තිබේ.

සිවිල් යුද්ධයෙන් ව්‍යසනයට පත් වූ රට එක්සත් කළ මාවෝ සේතුං යුගය චීනයේ පළමු පරිච්ඡේදය ලෙස සැලකේ.

ඩෙං ෂියාඕපිං පාලනය යටතේ චීනය ධනවත් රටක් බවට පත් වීම එහි දෙවෙනි පරිච්ඡේදය ලෙස සැලකිය හැක.

වත්මන් "නව යුගයට" අනුව තවත් එක්සත් සහ ධනවත් වන අතරම දේශීය වශයෙන් තවත් ශික්ෂණය වෙමින් විදේශ තුළ ශක්තිමත් වීම චීනයේ අරමුණ වනු ඇත.

ජනාධිපති ෂී ජින්පිං ගේ සංකල්පය පක්ෂ ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමත් සමග ඔහුගේ තරගකරුවන්ට කොමියුනිස්ට් පක්ෂයට තර්ජනයක් එල්ල නොකොට ඔහුට අභියෝග කිරීමට නොහැකි වනු ඇත.