ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
"මේක නව යුගයක්" -ෂි ජින්පින්
චීනය ලෝකයේ කේන්ද්‍රීය මධ්‍යස්ථානය බවට පත්කිරීම සඳහා "නව යුගයකට" එළැඹ ඇතැයි ඇතැයි චීන ජනාධිපති ෂි ජින්පින් ප්‍රකාශ කරයි.
චීන නායකයා එම ප්‍රකාශය කළේ උත්තරීතර මහජන ශාලාවේ මුළුදෙන චීන කොමියුනිස්ට් පක්ෂ සමුළුව අමතමිනි.
"මේක නව යුගයක්, චීන ගති ලක්ෂණ සහිත සමාජවාදී සමාජයක් දිනා ගැනීම දෙසට තවත් ක්‍රියාත්මක විය යුතු කාලයක්. මෙය හොඳ රටක් ගොඩ නැගීමට, ඒ වගේම ලෝක බලවතෙකු වීමට කටයුතු කරන කාලයක්. මෙය පක්ෂය ජනතාව එකමුතු විය යුතු කාලයක්," යැයි ජනාධිපති ෂි ජින්පින් එහිදී පැවසීය.
තමා ධුරයේ සිටි පළමු පස් අවුරුදු කාල සීමාව තුළ ජාත්‍යන්තර වශයෙන් ලද ජයග්‍රහණ විස්තර කළ ජනාධිපති ෂි ජින්පින්, එහෙත් රට බරපතළ අභියෝග වලට මුහුණ දී සිටින බව පිළිගත්තේය.
පක්ෂ අභ්‍යන්තරයේ පැතිරෙන දූෂණ සම්බන්ධයෙන් කිසිදු සමාවක් නැති බව ඔහු සඳහන් කළේය.
මීළඟ පාලන සමය තුළ චීනය පාලනය කරන පුද්ගලයා සහ රට කුමන දිසාවකට රැගෙන යායුතුද යන්න තීරණය කෙරෙන්නේ ලෝකයට සංවෘත වූ මෙම සමුළුව අතරතුර ය.
වත්මන් ජනාධිපති ෂි ජින්පින් තම බලය තහවුරු කරගෙන ඇති අතර මීළඟ පාලන සමය තුළ ද චීනයේ නායකයා වශයෙන් ඔහු බලයේ සිටිනු ඇති බවට විශ්වාස කෙරේ.
වසර පහකට වරක් මුළුදෙන චීන කොමියුනිස්ට් පක්ෂ සමුළුව ලබන අඟහරුවාදා නිමාවට පත්වීමට නියමිතය.
නියෝජිතයන් දෙදහසක් පමණ සහභාගිවන මෙම සමුළුව පැවැත්වෙන්නේ අධි ආරක්‍ෂිත විධි විධාන යටතේ ය.
මාඕ සේතුං සහ ඩෙන්ග් ෂියාඕපින්ග්
රටේ තීරණ ගන්නා ඉහළම බලමණ්ඩලයට අලුතින් එක්වන සාමාජිකයන් කවුරුන්ද යන වග මෙම සමුළුව අවසන් වූ වහාම නිවේදනය කිරීමට නියමිතය.
ඉදිරි පස් වසර තුළ චීනය පාලනය වන්නේ එම බලමණ්ඩලය විසින් ගනු ලබන තීරණ මතය.
මේ අතරතුර චීන මාධ්‍ය සඳහන් කරන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ව්‍යවස්ථාව අලුතින් ලිවීමට නියමිත බවකි.
එමෙන්ම චීනයේ මහා බලවතුන් ලෙස සැලකෙන මාඕ සේතුං සහ ඩෙන්ග් ෂියාඕපින්ග් ගේ මට්ටමට වත්මන් ජනාධිපතිවරයාගේ නාමය ද උසස් කරමින් වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව චීන මාධ්‍ය සඳහන් කරයි.
ඇතැම් විශ්ලේෂකයන් පවසන්නේ මාඕ සේතුන්ගෙන් පසු චීනයේ වැඩිම බලයක් තහවුරු කරගත් එකම රාජ්‍ය නායකයා ෂි ජින්පින් බවය.