'සැම්සුං ඉලෙක්ට්‍රොනික්ස්' ප්‍රධානියා ඉල්ලා අස්වෙයි

ඡායාරූප මූලාශ්‍රය, AFP
"පෙර නොවූවිරූ අර්බුදයක්" බව සඳහන් කරමින් කොරියාවේ 'සැම්සුං ඉලෙක්ට්‍රොනික්ස්' සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ග්වන් ඕ හියාන් ඉල්ලා අස්වෙයි.
දූෂණ චෝදනා යටතේ මුළු සැම්සුන් ව්‍යාපාරයේම උරුමකරු පසුගිය අගෝස්තුවේ දී සිරගත කිරීමෙන් අනතුරුව සමාගම තුළ ඇතිවූ අලුත්ම කැළඹීම මෙයයි.
ග්වන් ඕ හියාන් ගේ ඉවත්වීම නිවේදනය කෙරුණේ සැම්සුන් සමාගම සිය ඉදිරි කාර්තු සඳහා වාර්තාගත ලාභයක් ලබන බවට අනාවැකි පළ කළ දිනයේම ය.
සැම්සුං සමාගමෙන් ඉල්ලා අස්විය යුතු බව තමන් "කලක සිට" සිතමින් සිටි බවත් එය තවදුරටත් කල් දැමිය නොහැකි බවත් ග්වන් ඕ හියාන් පැවසීය.
"පිටතින් සහ ඇතුළතින් මතුවී තිබෙන, පෙර නොවූවිරූ අර්බුදය සමඟ සටන් කරමින් සිටිය දී මම හිතනවා සමාගමට අලුත් ආරම්භයක් ලබා දීමට කාලය එළැඹ ඇතැයි කියල. ශීඝ්‍රයෙන් වෙනස්වෙමින් පවතින තොරතුරු තාක්ෂණය හමුවේ ඇතිවන අභියෝගයන්ට හොඳින් ප්‍රතිචාර දැක්විය හැකි නව ජීව ගුණයක් සහිත තරුණ නායකත්වයක් අවශ්‍යයි," යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සැම්සුං සමාගම පාලනය කළ සම ප්‍රධාන විධායක නිලධාරීන් තිදෙනාගෙන් කෙනෙකු වූ ග්වන් ඕ හියාන් සිය තනතුරින් ඉල්ලා අස්වූ නමුත් 2018 මාර්තු වන තුරු ඔහු සැම්සුං සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු කටයුතු කරනු ඇත.
ඔහුගෙන් පුරප්පාඩු වූ තනතුරට වෙනත් කෙනෙකු කඩිනමින් පත්කෙරෙනු ඇති බවට සැම්සුං සමාගම නිවේදනය කළ නමුත් ඊට දින වකවානුවක් නිවේදනය නොකෙරුණි.
සැම්සුං සමූහ ව්‍යාපාරය යටතේ සමාගම් 60ක් පමණ පවතින අතර 'සැම්සුං ඉලෙක්ට්‍රොනික්ස්' එහි ප්‍රධානතම සමාගම ලෙස සැළකේ. සැම්සුං, දකුණු කොරියාව තුළ එක් පවුලකට අයත්ව පවතින විශාලතම ව්‍යාපාරයකි.
දූෂණ චෝදනාවලට වරදකරු වූ සැම්සුං සමාගමේ උරුමක්කරු ලී ජායේ-යොංට වසර පහක සිර දඬුවමක් නියම කිරීමට දකුණු කොරියානු අධිකරණයක් නියෝග කළේ පසුගිය අගෝස්තු මාසයේදී ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අල්ලස් ලබාදීම ඇතුළු තවත් චෝදනා කීපයක් මත ඔහු පසුගිය පෙබරවාරි මාසයේ දී අත්අඩංගුවට ගැනිණි.
දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනි පාක් ගුන් හේට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනඒමට හේතුපාදක වූ අපචාර චෝදනා සම්බන්ධයෙන් ද ලී ජායේ-යොංට එරෙහිව විමර්ශන ක්‍රියාත්මක විය.
දකුණු කොරියාවේ විශාලතම ව්‍යාපාරය වන සැම්සුන් සමාගමේ උරුමක්කරු ලී ජායේ-යොං ඔහුට එරෙහිව නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කරයි.
දේශපාලනික අනුග්‍රහය ලබාගැනීමේ අරමුණින් හිටපු ජනාධිපතිනියගේ හිතවතියක විසින් පවත්වාගෙන ගිය ලාභ අරමුණු කර නොගත් පදනමකට ඩොලර් මිලියන තිස් හයක මුදලක් ලබා දී ඇති බවට ඔහුට චෝදනා එල්ල වේ.









