ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
"මුලින්ම යුද්ධ ප්‍රකාශ කළේ ට්‍රම්ප්"
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියාවට එරෙහිව "යුද්ධ ප්‍රකාශ" කර ඇති බවට උතුරු කොරියානු විදේශ ඇමතිවරයා චෝදනා කරයි.
උතුරු කොරියානු විදේශ ඇමති රි යොන්ග්-හෝ නිව්යෝර්ක් නුවරදී මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ ඇමරිකානු ප්‍රහාරක යානා වෙඩි තබා බිම හෙළීමට උතුරු කොරියාවට අයිතියක් ඇති බවය.
එම අයිතිය, උතුරු කොරියානු ගුවන් කලාපයෙන් එපිට පියාසර කෙරෙන ප්‍රහාරක යානාවලට ද අදාළ වනු ඇති බව විදේශ ඇමතිවරයා තවදුරටත් පැවසීය.
එක්සත් ජනපදය පිළිබඳව අදහස් දැක්වීමේ දී "යුද්ධ ප්‍රකාශ කිරීම" යන යෙදුම උතුරු කොරියාව විසින් භාවිත කරනු ලැබූ පළමු අවස්ථාව මෙය නොවේ.
නමුත් මෙවර එම ප්‍රකාශය සිදු කෙරුනේ ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් නිකුත් කර ඇති ට්විටර් පණිවිඩයකට ප්‍රතිචාරයක් වශයෙනි.
මෙම ට්විටර් පණිවිඩයේ දැක්වෙන්නේ "උතුරු කොරියාවේ විදේශ ඇමති එක්සත් ජාතීන් අමතන බව මට දැන් ආරංචි වුනා. ඔහු පුංචි රොකට් මෑන්ගේ අදහස් ප්‍රතිනාද කළහොත් ඔවුන් වැඩි කල් ඉන්න එකක් නැහැ" යනුවෙනි.
ඊට තවදුරටත් ප්‍රතිචාර දක්වමින් උතුරු කොරියානු විදේශ ඇමතිවරයා කියා සිටියේ පළමුව යුද්ධ ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකාව බව "ලෝකය පැහැදිලිවම මතක තබා ගත යුතු" බවය.
එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතීම සඳහා පැමිණ සිටි විදේශ ඇමතිවරයා එම ප්‍රකාශය කළේ නිව්යෝර්ක් නුවරින් පිටව යන අවස්ථාවේ දී මාධ්‍යවේදීන් අමතමිනි.
උතුරු කොරියානු බලධරයෙකු විදෙස් මාධ්‍යවලට අදහස් දක්වන්නේ ඉතා කලාතුරකිනි.
පසුගිය සෙනසුරාදා එක්සත් ජාතීන්ගේ සමුළුව අමතමින් උතුරු කොරියානු විදේශ ඇමතිවරයා කියා සිටියේ ඇමරිකානු ජනාධිපතිවරයා "දිවි හානිකර ගැනීමේ මෙහෙයුමක නිරත, මානසික ව්‍යාකූලත්වයකින් යුත්, මනෝන්මාදයෙන් පිරි" පුද්ගලයෙකු බවය.
උතුරු කොරියාවේ විදේශ ඇමතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතා සිය දේශනය පැවැත්වීමට නියමිතව තිබියදී ඇමෙරිකා එක්සත් ජනපදය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සිය යුද ශක්තිය ප්‍රදර්ශනය කිරීම පිණිස ඇමෙරිකානු බෝම්බ ප්‍රහාරක යානා උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළබඩ තීරය සමීපයට පියාසර කළ බවය.
ඇමෙරිකා එක්සත් ජනපදය සහ උතුරු කොරියාව අතර වාග් සංග්‍රාමය මෑත සති කිහිපය තුළ උත්සන්න විය.