ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කිම් ජොන්ග් අන්ගෙන් භයානක ප්‍රතිඥාවක්
උතුරු කොරියාව න්‍යෂ්ටික වැඩසටහනේ දිනුම් කනුව කරා යන බවට නායක කිම් ජොන්ග් අන් ප්‍රතිඥා දී ඇතැයි එරට රාජ්‍ය මාධ්‍ය නිවේදනය කරයි.
තම ඉලක්කය වී ඇත්තේ එක්සත් ජනපද හමුදාව සතුව පවත්නා බලයට "සම බලයක්" සහිත හමුදාවක් තැනීම බව උතුරු කොරියානු නායකයා ප්‍රකාශ කර ඇතැයි එරට රජයේ නිල මාධ්‍යය වන KCNA පුවත් සේවය වාර්තා කර තිබේ.
ඔහුගේ මෙම ප්‍රකාශය වාර්තා වන්නේ ජපානයට ඉහළින් මිසයිලයක් විදිනු ලැබූ බව ඊයේ (සැප් 15) වාර්තා වීමෙන් අනතුරුව ය.
උතුරු කොරියාව මෙතෙක් අත්හදා බැලූ මිසයිල අතරින් වැඩිම දුරක් ගමන් කොට මුහුදට පතිත වේ ඇත්තේ එම මිසයිලයයි.
"කොයි තරම් සීමා තහංචි යෙදුවත් අපි න්‍යෂ්ටික බලයේ දිනුම් කනුව කරා යන්නේ කොහොමද කියල පෙන්වීම සඳහා උග්‍රජාතිභේදවාදීන්ට අපේ වැඩි බලය පැහැදිලිවම පෙන්විය යුතුයි" යනුවෙන් කිම් ජොන්ග් අන් ප්‍රකාශ කළ බව KCNA පුවත් සේවය වාර්තා කර තිබේ.
සිකුරාදා, 'හ්වාසං - 12' බැලිස්ටික් මිසයිලය අත්හදා බලන ආකාරය නැරඹීමට උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් එම ස්ථානයට පැමිණ සිටි බවට සනාථ වන ඡායාරූප නිකුත් විය.
කිලෝමීටර් 770 ක උන්නතාංශයක් දක්වා ඉහළට පියාසර කළ මිසයිලය කිලෝමීටර 3700 ක පමණ දුරකින් හොකයිඩෝ දූපත අසල මුහුදට පතිත වූ බව දකුණු කොරියාවේ හමුදාව පවසයි.
ශාන්තිකර කලාපයේ ඇති ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් ගුවාම් දූපතට ද එම මිසයිලය ළඟා විය හැකි බව විශේෂඥයෝ පවසති.
ගුවාම් දූපත පිහිටා තිබෙන්නේ පියොන්ග්යැන් අගනුවර සිට කිලෝමීටර 3400 ක් පමණ දුරිනි.