ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉරානයත් මිසයිලයක් අත්හදා බලයි
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරෝධය පෑමේ අරමුණින් මධ්‍යම දුර විහිදුම් අලුත් මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ බව ඉරානය පවසයි.
කිලෝමීටර 2000 ක (සැතපුම් 1,242 ක) විහිදුම් පරාසයක් සහිත කොරම්ශහර් (Khoramshahr) මිසයිලය අත්හදා බැලූ අවස්ථාව රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ ප්‍රදර්ශනය කෙරිණ. එම අත්හදා බැලීම කරනු ලැබුවේ කෙදිනද යන්න පැහැදිලි නැත.
අඟහරුවාදා (සැප්තැම්බර් 19) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හමුවේ පළමු වරට අදහස් දැක්වූ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් කිහිපයක් දැඩි විවේචනයට ලක් කළේය.
ලෝකයේ "චෞර රාජ්‍යයන් කුඩා කණ්ඩායම" අතරට ඉරානය ද ඇතුළත් බව සඳහන් කළ ඔහු, 2015 දී බරක් ඔබාමා පාලනය විසින් ඉරානය සමග අත්සන් තැබූ න්‍යෂ්ඨික ආයුධ සම්බන්ධ ගිවිසුම ද විවේචනයට ලක් කළේය.
ඉන් අනතුරුව ඒ පිළිබඳව ප්‍රතිචාරය පළ කළ, ඉරානයේ විදේශ ඇමති ජාවඩ් සරීෆ් (Javad Zarif) සඳහන් කළේ "ට්‍රම්ප්ගේ නූගත්, වෛරී සහගත ප්‍රකාශය" අයත් වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට නොව "මධ්‍යතන යුගයට" බවය.
මේ අතර සිකුරාදා (සැප්තැම්බර් 22) ප්‍රකාශයක් කළ ඉරාන ජනාධිපති හසන් රෝහානි (Hassan Rouhani) කියා සිටියේ එක්සත් ජනපද ජනාධිපතිවරයාගෙන් එල්ල වන තර්ජනයට "නිවාරකයක්" වශයෙන් සිය හමුදා බලය තර කරන බවය.
කොරම්ශහර් මිසයිලය මුල් වරට ප්‍රදර්ශනයේ කෙරුණේ සිකුරාදා ටෙහ්රාන් අගනුවර පැවති හමුදා පෙළපාලියකදීය. එයට යුද ශීර්ෂ කිහිපයක් එකවර රැගෙන යාමේ හැකියාව පවතින බව ඉරාන මාධ්‍ය වාර්තා පවසයි.
එම මිසයිලයේ "සුවිශේෂී නිමැවුම" පිළිබඳව කරුණු දැක්වූ ඉරානයේ ආරක්ෂක අමාත්‍ය ජනරාල් අමීර් හතමී (Amir Hatami) කියා සිටියේ, "සතුරාගේ ගුවන් ආරක්ෂක රේඩාර් මගහැරීමේ හැකියාව සහ ගුවන්ගත වූ මොහොතේ පටන් ඉලක්කයට පහර දෙන තුරුම මග පෙන්වීමේ හැකියාව" හේතුවෙන් එය "උපාය මාර්ගික මිසයිලයක්" බවය.
"විවිධ ආකාරයේ මිසයිල නිෂ්පාදනය කිරීම පිණිස කිසිදු රටකින් අවසර ලබාගැනීමට ඉරානය බලාපොරොත්තු නොවන," බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ඉරානයේ අලුත්ම මිසයිල අත්හදා බැලීම පිළිබඳව කරුණු පහදන බීබීසී පර්සියානු භාෂා අංශයේ විශේෂ වාර්තාකරු කස්රා නජී (Kasra Naji) පවසන්නේ, ජනාධිපති ට්‍රම්ප් වෙත සිය විරෝධය දැක්වීම පිණිස ඉරානය "උතුරු කොරියාවේ පොතෙන් උගත් පාඩමක්" යොදා ගෙන තිබෙන බවය.
කෙසේ නමුත් වත්මන් වාතාවරණය තුළ ලෝක ප්‍රජාව ඉරානය සහ උතුරු කොරියාව සංසන්දනය කිරීමේ හැකියාව තිබෙන බැවින් මේ මිසයිල අත්හදා බැලීම ඉරානයට පාරා වලල්ලක් බවට පත්වීමේ අවදානමක් පවතින බවත් කස්රා නජී සඳහන් කරයි.
ඉරානයේ බැලිස්ටික් මිසයිල වැඩසටහනට සහ "ත්‍රස්තවාදී සංවිධානවලට අනුබල දෙන" බව පවසමින්, ඇමෙරිකා එක්සත් ජනපදය පසුගිය ජුලි මාසයේ ඉරානයට එරෙහිව අලුතෙන් සම්බාධක ප්‍රකාශයට පත් කළේය.
ඊට පෙරාතුව පසුගිය ජනවාරි මාසයේ ඉරානය බැලිස්ටික් මිසයිලයක් අත්හදා බැලීමෙන් අනතුරුව ද ඇමෙරිකාව ඉරානයට එරෙහිව සම්බාධක පැනවීය. එවැනි අත්හදා බැලීම් ලෝක බලවතුන් හය දෙනෙක් ඉරානය සමග 2015 දී අත්සන් තැබූ ගිවිසුමේ මුඛ්‍යාර්ථයට එරෙහිව යන්නක් බව එක්සත් ජනපදයේ තර්කය විය.
එහෙත් සිය මිසයිල අත්හදා බැලීම් එම ගිවිසුම උල්ලංඝනය කිරීමක් නොවන බව ඉරානය අවධාරණය කරයි. අදාළ මිසයිල න්‍යෂ්ඨික යුද ශීර්ෂ රැගෙන යාමේ අරමුණින් නිෂ්පාදනය නොකරන ලද බව ඉරානයේ තර්කය වී තිබේ.