ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ට්‍රම්ප්ගේ දේශනය "සුනඛයෙකුගේ බිරීමක්"
නිව්යෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සමුළුව අමතමින් අඟහරුවාදා (සැප්තැම්බර් 19) පළමු වරට අදහස් දැක්වූ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උතුරු කොරියාව දැඩි විවේචනයට ලක් කළේය.
උතුරු කොරියාවේ න්‍යෂ්ඨික වැඩසටහන පිළිබඳව අදහස් දැක්වූ ඔහු, පියෝන්ග්යැන්ග් පාලනය ඔවුන්ගේ හෝ ඔවුන්ගේ සගයන් ගේ ආරක්ෂාව සඳහා බලපෑම් කරන්නේ නම් ඇමෙරිකාව උතුරු කොරියාව විනාශ කර දමනු ඇතැයි අනතුරු ඇඟවීමක් කළේය.
දින දෙකකට පසුව ඒ පිළිබඳව ප්‍රතිචාරය පළ කරමින් උතුරු කොරියාවේ විදේශ අමාත්‍ය රි යොන්ග් හෝ (Ri Yong-ho) පවසන්නේ ජනාධිපතිවරයාගේ එම දේශනය "සුනඛයෙකුගේ බිරීමක්" හා සමාන බවය.
නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපස දී මාධ්‍යවේදීන් අමතා අදහස් දැක්වූ විදේශ අමාත්‍යවරයා, "බල්ලෝ බිරුවත් තවලම යනවා කියල කියමනක් තියෙනවනේ," යනුවෙන් සඳහන් කළේය.
"සුනඛයෙක් බුරන සද්දෙන් අපිව බය කරන්න පුළුවන් කියල හිතනවා නම් පැහැදිලිවම එයා දකින්නේ හීනයක්."
උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සමච්චලයට ලක් කරමින් අදහස් දැක්වූ ඇමෙරිකානු ජනාධිපතිවරයා, "රොකට් මෑන් සිය දිවි හානිකර ගැනීමේ ගමනක නිරත වෙමින්" සිටින්නේ යයි ද සඳහන් කළේය.
ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ "රොකට් මෑන්" ප්‍රකාශය පිළිබඳව විමසූ අවස්ථාවේ විදේශ අමාත්‍ය රි යොන්ග් හෝ කියා සිටියේ, "ඔහුගේ ආධාරකරුවන් ගැන මට කනගාටුවක් දැනෙනවා," යනුවෙනි.
උතුරු කොරියාවේ විදේශ අමාත්‍යවරයා සිකුරාදා (සැප්තැම්බර් 22) මහා මණ්ඩලය අමතා අදහස් දැක්වීමට නියමිතය.
එක්සත් ජාතීන්ගේ සම්බාධක නොතකා උතුරු කොරියාව දිගටම සිය න්‍යෂ්ඨික වැඩසටහන දියත් කළ අතර, උතුරු කොරියාවේ අලුත්ම න්‍යෂ්ඨික අත්හදා බැලීමට ප්‍රතිචාර දක්වමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පසුගියදා සිය සම්බාධක තවත් දැඩි කළේය.
ලෝකයේ "චෞර රාජ්‍යයන් කුඩා කණ්ඩායම" අතරට ඉරානය ද ඇතුළත් බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දේශනයේ දී සඳහන් කළ අතර, ඒ පිළිබඳව ප්‍රතිචාරය පළ කරන ඉරානයේ විදේශ ඇමති ජාවඩ් සරීෆ් (Javad Zarif) පවසන්නේ "ට්‍රම්ප්ගේ නූගත්, වෛරී සහගත ප්‍රකාශය" අයත් වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට නොව "මධ්‍යතන යුගයට" බවය.
ජනාධිපති බරක් ඔබාමා පාලනය විසින් ඉරානය සමග අත්සන් තැබූ න්‍යෂ්ඨික ආයුධ සම්බන්ධ ගිවිසුම ද ජනාධිපති ට්‍රම්ප් ගේ විවේචනයට ලක් විය.
වෙනිසුවෙලා පිළිබඳව සඳහන් කළ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ආණ්ඩුව "සමාජවාදී ආඥාදායකත්වයක්" ලෙසින් හඳුන්වා දෙමින් එය ඇමෙරිකාවේ සතුරු රාජ්‍යයක් හැටියට නම් කළේය.
අනුමත කළ නොහැකි වෙනිසුවෙලා පාලනය ඉදිරියේ එක්සත් ජනපදයට බලා සිටිය නොහැකි බවත් ඔහු කියා සිටියේය.
ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය වෙනිසුවෙලා විදේශ අමාත්‍ය ජෝර්ජ් අරියේසා (Jorge Arreaza) විග්‍රහ කළේ සිය රටට එරෙහිව එල්ල කළ "තර්ජනයක්" ලෙසිනි.