"මුගාබේ මහත්මියට මුක්තිය දීම වැරදියි"

සිම්බාබ්වේ පළමු කාන්තාව වන ග්‍රේස් මුගාබේට රාජ්‍ය තාන්ත්‍රික මුක්තියක් ලබා දීම සඳහා දකුණු අප්‍රිකානු ආණ්ඩුව ගත් තීන්දුවට එරෙහිව ප්‍රිටෝරියා මහාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබ ඇත.

සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ ගේ බිරිඳ වන 52 හැවිරිදි ග්‍රේස් මුගාබේ පසුගියදා දකුණු අප්‍රිකාවේ සංචාරය කරමින් සිටියදී ඇය තමාට පහර දුන් බව කියා සිටින මෝස්‌තර නිරූපිකාව විසින් එම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබ ඇත.

බරපතළ සාපරාධී ක්‍රියාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අවස්ථාවක පළමු කාන්තාවක් නොව රාජ්‍ය නායකයකු වුවත් රාජ්‍යතාන්ත්‍රික "මුක්තියක්' නොලබන බව ගබ්‍රියෙලා එංගල්ස් (Gabriella Engels) නම් 21 හැවිරිදි එම නිරූපිකාව අධිකරණයට ඉදිරිපත් කර ඇති පැමිණිල්ලේ දැක්වෙයි.

දකුණු අප්‍රිකාවේ ඇය රැඳී සිටි හෝටලයේ දී ග්‍රේස් මුගාබේ තමාට පහර දී තුවාල සිදු කළ බවට ගබ්‍රියෙලා එංගල්ස් චෝදනා කරන්නීය.

පහර දීමේ චෝදනා ලද ග්‍රේස් මුගාබේ පසුගිය ඉරිදා (අගෝස්තු 20) හදිසියේම දකුණු අප්‍රිකාවෙන් පිටත්ව සිම්බාබ්වේ කරා ලඟා වූවාය.

අගෝස්තු 13 වෙනිදින සිදුව ඇතැයි පැවසෙන පහර දීම සම්බන්ධයෙන් දකුණු අප්‍රිකානු පොලිසිය (SAPS) පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබ ඇත.

එහෙත් සිම්බාබ්වේ ආණ්ඩුව සිය 'පළමු කාන්තාව' රාජ්‍ය තාන්ත්‍රික මුක්තියක් භුක්ති ඉඳින බව ප්‍රකාශ කිරීමත් සමඟ අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට දකුණු අප්‍රිකානු පොලිසිය අසමත් විය.

ලෝකයේ නිතරම කතාබහට ලක් වෙන රාජ්‍ය නායකයකු වන සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ ගේ බිරිඳ ග්‍රේස් මුගාබේ දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරත වෙමින් සිටියේ " අප්‍රිකානු කලාපයේ පළමු කාන්තාවන්ගේ සමුළුවක්" නියෝජනය කිරීම පිණිසයි.

සිය සැමියා වන ජනාධිපති රොබට් මුගාබේ එහි පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වෙන අතරවාරයේ " අප්‍රිකානු කලාපයේ පළමු කාන්තාවන්ගේ සමුළුවට" සහභාගී වීම සිම්බාබ්වේ පළමු කාන්තාවගේ සැලැස්ම විය.

දකුණු අප්‍රිකාවේ ඇය රැඳී සිටි හෝටලයේ දී ග්‍රේස් මුගාබේ විදුලි බලය ලබා ගැනීමට පාවිච්චි කරන වයරයකින් (extension cord) තමාට පහර දී තුවාල සිදු කළ බවට ගබ්‍රියෙලා එංගල්ස් චෝදනා කරයි.

ගබ්‍රියෙලා විසින් කරනු ලබන චෝදනා සම්බන්ධයෙන් ග්‍රේස් මුගාබේ මුනිවත රකී.

මේ අතර ප්‍රකාශයක් කරන දකුණු අප්‍රිකාවේ ජාත්‍යන්තර සබඳතා භාර ඇමතිනී Maite Nkoana-Mashabane 'මුගාබේ මහත්මියට රාජ්‍ය තාන්ත්‍රික මුක්තියක් ප්‍රදානය කරන ලද්දේ දැඩි මානසික පීඩාවකින් බව පවසන්නීය.

නෛතික සලකා බැලීම් සහ සිම්බාබ්වේ සමඟ පවතින අන්තර් රාජ්‍ය සබඳතා කෙරෙහි ප්‍රමුඛත්වය දෙමින් එම ඉල්ලීමට එකඟවීමට සිදු බව ඇමතිවරිය පවසයි.

එහෙත් ඇමතිවරිය ඇය සතු බලතල වැරදි ආකාරයට අර්ථ ගන්වනු ලැබ ඇතැයි ගබ්‍රියෙලා එංගල්ස් විසින් මහාධිකරණයට ඉදිරිපත් කරනු ලැබ ඇති පැමිණිල්ල මගින් කියා සිටියි.

එබැවින් නීත්‍යානුකූල නොවන එම රාජ්‍ය තාන්ත්‍රික මුක්ති ප්‍රදානය අවලංගු කරන මෙන් පැමිණිලිකාරිය අධිකරණයෙන් අයැද සිටියි.

"දකුණු අප්‍රිකානු භූමියේ දී මිනී මැරුමක් හෝ පුද්ගලයකුට තුවාල සිදුකළ රාජ්‍ය නායකයකුට විදේශ රාජ්‍ය මුක්ති පනත (Foreign States Immunities Act) අනුව මුක්තියක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා රාජ්‍ය නායකයකුගේ බිරිඳට හෝ සැමියාට එවැනි මුක්තියක් ලැබෙන්න විධියක් නැහැ" ගබ්‍රියෙලා එංගල්ස් ප්‍රකාශ කළ බව ඇය උපුටා දක්වන මාධ්‍ය වාර්තා පවසයි.

ගබ්‍රියෙලා එංගල්ස් වෙනුවෙන් පෙනී සිටින 'AfriForum'උද්ඝෝෂක කණ්ඩායමක් අදහස් දක්වමින් මේ නඩුකරය සාර්ථක වුනොත් ග්‍රේස් මුගාබේ කෙදිනක හෝ දකුණු අප්‍රිකානු භූමියේ යළිත් පය ගැසුවොත් ඇයට එරෙහිව නඩු පවරනු ලැබීමට අවස්ථාව උදා වෙන බවට අනතුරු අඟවයි.