මේ ජනාධිපතිවරු බෙහෙත් ගන්න පිටරට යන්නේ ඇයි?

නයිජීරියාව, ඇන්ගෝලාව, සිම්බාබ්වේ, බෙනින් සහ ඇල්ජීරියා යන රාජ්‍යවල ජනාධිපතිවරුන් හැම දෙනාටම පොදු වූ එක් කාරණයක් පවතී.

මේ සියලු දෙනාටම තම රට තුළ පවතින සෞඛ්‍ය සේවාව පිළිබඳව විශ්වාසයක් නොමැති බව පෙනෙන්නට තිබේ.

මේ රාජ්‍ය නායකයන් සියලු දෙනාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා යන්නේ පිටරටකට ය.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා පසුගිය වසර ඇතුළත වැඩිම කාලයක් විදේශ ගත වී සිට ඇත්තේ 74 හැවිරිදි නයිජීරියානු ජනාධිපති මුහම්මදු බුහාරි ය.

තමන්ගේ ජනතාවට විශ්වාසය තබන්නට සිදුවී තිබෙන රෝහල් කෙරෙහි මේ ජන නායකයෝ විශ්වාසය නොතබති.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව අප්‍රිකානු රටවල එක් පුරවැසියෙකුගේ සෞඛ්‍යය වෙනුවෙන් 2010 දී වැය කර ඇත්තේ ඩොලර් 135ක් පමණි. ඉහළ ආදායම් සහිත රටවල එක් පුරවැසියෙකුගේ සෞඛ්‍යය වෙනුවෙන් ඩොලර් 3150ක් වැය කෙරේ.

උදාහරණයක් වශයෙන්, ප්‍රජා සෞඛ්‍ය පිළිබඳව සොයා බලන Citizens Health Watch සංවිධානය පවසන්නේ සිම්බාබ්වේ රජයේ රෝහල් තුළ ප්‍රතිජීවක සහ වේදනා නාශක ඖෂධ පවා හිඟ බවය.

විශ්වාසය

නයිජීරියාවේ ද තත්වය ඉතා බරපතළ බව එහි සිටින බීබීසී වාර්තාකරු පවසයි.

මේ රටවල පෞද්ගලික සෞඛ්‍ය සේවා පවතින නමුත් ඒවාහි සේවය ලබාගත හැකි වත්කම් සහිත පිරිස ඉතා සීමිතය. නමුත් ඔවුන් ද බොහෝ විට විශ්වාසය තබන්නේ විදෙස් රටවල රෝහල් මතය.

නයිජීරියාවේ ජනාධිපතිවරයා මේ වසර තුළ මාස හතරක් ගත කළේ එංගලන්තයේ රෝහලකය. ඔහු ප්‍රතිකාර ලබන්නේ කුමන රෝගයක් සඳහා ද යන්න තවමත් හෙළිදරව් කර නැත.

නයිජීරියානු ජනාධිපතිවරයාගේ ලෙඩ නිවාඩු:

  • ජනවාරි 19: "අසනීප නිවාඩුවක්" සඳහා බ්‍රිතාන්‍යයට පැමිණෙයි.
  • පෙබරවාරි 05: "අසනීප නිවාඩුව දීර්ඝ කරන ලෙස පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කරයි.
  • මාර්තු 10: ආපසු සිය රට පැමිණෙයි. නමුත් රාජකාරි කිරීමෙන් ඉවත්ව සිටියි.
  • මැයි 07: වැඩි දුර ප්‍රතිකාර සඳහා යළිත් බ්‍රිතාන්‍යයට පැමිණෙයි.
  • ජුනි 06: ජනාධිපතිවරයා ඉක්මන් සුවය ලබන බවට නිවේදනය කරයි.

රෝහල් ඇඳ මත සිට රට පාලනය කරන බවට සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේට ද ප්‍රතිවාදීන්ගෙන් චෝදනා එල්ල වෙයි.

මේ වසරේ ගතවූ මාස කිහිපය තුළ සිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔහු තෙවරක් සිංගප්පුරුවට ගියේය.

වසර 38ක් තිස්සේ බලයේ සිටින, අන්ගොලාවේ ජනාධිපතිවරයා ද වෛද්‍ය ප්‍රතිකාර සඳහා ස්පාඤ්ඤය බලා පිටත් වූ බව පසුගිය මැයි මාසයේ දී එරට ආණ්ඩුව නිවේදනය කළේය.

ඇල්ජීරියාවේ ජනාධිපති අබ්දෙල් අසිස් බූටෙෆ්ලීකා ගේ අසනීප තත්වය පිළිබඳව නිතර වාර්තා පළවී තිබේ.

ඔහු 80 හැවිරිදිය. 2013 දී හෘදයාබාධයකට ගොදුරු විය. 2014 දී පැවති ජනාධිපතිවරණය සඳහා ඔහු ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණියේ රෝද පුටුවෙනි. එම වසරේ ම අග භාගය වන විට වෛද්‍ය ප්‍රතිකාර සඳහා ප්‍රංශයේ රෝහලකට පැමිණියේය.

පසුගිය නොවැම්බරයේදී ද ඔහි එම රෝහලටම පැමිණි අතර ආණ්ඩුව නිවේදනය කළේ කාලීන වෛද්‍ය පරීක්ෂණ සඳහා වරින්වර ප්‍රංශයට යන බවය.

බෙනින් රාජ්‍යයේ ජනාධිපතිවරයා 59 හැවිරිදි ය. පසුගිය ජුනි මාසයේ දී ඔහු ප්‍රංශයට පැමිණියේ සෞඛ්‍ය හේතූන් මතය.

තත්වය එසේ වී නමුදු, විදේශ රටවල සෞඛ්‍ය සේවය වඩා යහපත් බව මේ කිසිදු ජනාධිපතිවරයෙකු හෝ ඔහුගේ ප්‍රකාශකයෙකු මෙතෙක් ප්‍රකාශ කර නොමැති වීම විශ්මයට කරුණක් නොවේ.