ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සංක්‍රාන්ති ලිංගිකයන් ගැන ට්‍රම්ප්ගේ තීරණය
සංක්‍රාන්ති ලිංගිකයන්ට හමුදාවේ "කිසිදු නිලයක" සේවය කළ නොහැකි බව එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ට්‍රම්ප් කියා සිටින්නේ තමා හමුදා විශේෂඥයන්ගෙන් උපදෙස් ලබාගත් බවය.
සංක්‍රාන්ති ලිංගිකයන් හමුදා සේවයේ යෙදවීම හේතුවෙන් "වෛද්‍ය කටයුතු සඳහා අති විශාල මුදලක් වැයවන අතර බෙදීම් ඇතිවන" බව එම ට්විටර් පණිවිඩයේ සඳහන් වෙයි.
කලින් පැවති ඔබාමා පරිපාලනය විසින් සංක්‍රාන්ති ලිංගිකයන්ට විවෘතව හමුදා සේවයේ යෙදීමට අවසර දෙන ලදී.
නමුත් ඇමරිකානු හමුදාවට සංක්‍රාන්ති ලිංගිකයන් බඳවා ගැනීම මාස හයකින් කල් දැමීමට පසුගිය ජුනි මාසයේදී ආරක්ෂක ලේකම්වරයා එකඟ විය.
පෙන්ටගනය කියා සිටියේ "සියලු හමුදා ඛණ්ඩයන්ගේ සුදානම සහ ප්‍රවේෂන සැලසුම් විමර්ශනය කිරීමටත්, එමගින් හමුදාවේ ශක්තියට ඇතිවන බලපෑම පිළිබඳව අදහස් ලබාගැනීමටත්" මාස හයක කාලයක් ලබා දුන් බවය.
සංක්‍රාන්ති ලිංගිකයන්ට හමුදාවේ දොරටු විවෘත පිළිබඳව රිපබ්ලිකන් පක්‍ෂයේ ඇතැම්හු විරුද්ධත්වය ප්‍රකාශ කළහ.
'රෑන්ඩ් කෝපරේෂන්' නමැති ස්වේච්ඡා ආයතනය 2016 දී තක්සේරු කර තිබුණේ මිලියන 1.2ක් වූ සක්‍රීය හමුදා සාමාජිකයන්ගෙන් යුත් එක්සත් ජනපද හමුදාව තුළ සංක්‍රාන්ති ලිංගිකයන් 2450ක් සිටින බවය. ඇතැම් සංවිධාන ඊට වැඩි අගයන් ඉදිරිපත් කරති.
කෙසේ නමුත් සංක්‍රාන්ති ලිංගිකයන්ගේ සහ සමලිංගිකයන්ගේ අයිතීන් වෙනුවෙන් තමා සටන් කරන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිවරණ වේදිකාවේදී පොරොන්දු විය.