ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
"ඇෆ්ගනිස්ථානයේ IS නායකයා මරා දැමුවා"
ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ (IS) ඇෆ්ගනිස්තානු නායකයා මරා දැමූ බව එක්සත් ජනපද බලධාරීහු පවසති.
ඔවුන් කියා සිටියේ IS සංවිධානයේ ඇෆ්ගනිස්තානු මූලස්ථානය පවතින කුනාර් ප්‍රදේශයේ සිදුකළ හමුදා මෙහෙයුමක දී ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ ඇෆ්ගනිස්තානු නායක අබු සයීඩ් මරා දැමූ බවය.
මෙම ප්‍රහාරයට පෙර පසුගිය 11වැනිදා සිදුකළ මෙහෙයුමකින් තවත් IS සාමාජිකයන් පිරිසක් මරණයට පත්වූ බව ද පෙන්ටගනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
"ඇෆ්ගනිස්තානය තුළ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය තවදුරටත් ව්‍යාප්තකිරීම සඳහා පවතින සැලසුම් බිඳ දැමීමේ අරමුණින්" මෙම ප්‍රහාර එල්ල කළ බව ඇමරිකානු බලධාරීහු පවසති.
අබු සයීඩ් ඇෆ්ගනිස්ථානයේ IS නායකයා බවට පත්වූයේ ඊට පෙර නායකත්වය දැරූ අබ්දුල් හසිබ් මරණයට පත්වීමෙන් අනතුරුවය. ඔහු මරා දැමුණේ පසුගිය අප්‍රේල් මාසයේදී පැවති හමුදා මෙහෙයුමකදී ය.
අබ්දුල් හසිබ් නායකත්වයට පත්වූයේ 2016 වසරේදී ඇමරිකානු හමුදාව විසින් ඩ්රෝන් යානයක් යොදවා එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් එවකට සිටි නායක හෆිස් සයීඩ් මරණයට පත්වීමෙන් පසුවය.
කෙසේ නමුත් වත්මන් නායක අබු සයීඩ් මරණයට පත්වූ බව ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය විසින් තවමත් නිල වශයෙන් සනාථ කරනු ලැබ නැත.
එක්සත් ජනපද හමුදා වාර්තාවලට අනුව මේ වසර තුළ ඇෆ්ගනිස්ථානයේ සිදුකළ මෙහෙයුම්වලින් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ සාමාජිකයන් විශාල ප්‍රමාණයක් මරණයට පත්වී ඇති අතර තවත් සිය ගණනක් රැඳවුම් භාරයේ පසුවෙති.