ඇෆ්ඝන් IS නායකයා මරා දැමෙයි

ඇෆ්ඝනිස්තානයේ ඉස්ලාමීය රාජ්‍ය සංවිධාන(IS) නායක අබ්දෙල් හසිබ් මරාදමන ලද බව ඇමෙරිකා එක්සත් ජනපද හමුදාව විසින් තහවුරු කරනු ලැබ ඇත.

එක්සත් ජනපද සහ ඇෆ්ඝන් ඒකාබද්ධ හමුදා නැගෙනහිර ඇෆ්ඝනිස්ථානයේ දී මෙයින් දින දහයකට පෙර එල්ල කරන ලද ඒකාබද්ධ ප්‍රහාරයකින් IS නායකයා මරණයට පත්ව ඇතිබව ඇමෙරිකානු හමුදාව පවසයි.

එම ප්‍රහාරයේ දී ඇමෙරිකානු සොල්දාදුවන් දෙදෙනකුත් මරණයට පත්ව ඇත.

එක්සත් ජනපදය මෙයින් සති කීපයකට පෙර ලොව මෙතෙක් පාවිච්චි කෙරුණ විශාලතම බෝම්බය ඇෆ්ඝන් භූමිය මත හෙළන ලද අතර IS නායක අබ්දෙල් හසිබ් මරා දමන ලද ප්‍රහාරය එල්ල කරනු ලැබ තිබෙන්නේත් එම විනාශය සිදු වූ ස්ථානය අසලයි.

'සියලු බෝම්බවල මව' (mother of all bombs) යනුවෙන් නම් කරන ලද එම මහා බෝම්බය මගින් ඇෆ්ඝන් කැරලිකරුවන්ගේ සැඟවුන උමං කඳවුරු විනාශ කරන ලද බවක් වාර්තා කෙරිණ.

කාබුල් අගනුවර ප්‍රධාන යුද හමුදා රෝහල ඉලක්ක කර ගනිමින් පසුගිය මාර්තු මාසයේ එල්ල කරන ලද ප්‍රහාරය පිටුපස ඇෆ්ඝන් IS නායක අබ්දෙල් හසිබ් සිටි බව පැවසෙයි.

එම ප්‍රහාරයේ දී පනහකට අධික ජීවිත විනාශයක් වාර්තා විය.

අබ්දෙල් හසිබ්ට පෙර ඇෆ්ඝන් IS නායකයාව සිටි පුද්ගලයාත් නියමුවන් රහිත ඇමෙරිකානු යානයක් මගින් එල්ල කරන ලද ප්‍රහාරයකින් මරා දැමුණි.

ඇෆ්ඝන් IS කණ්ඩායම මේ වසර අවසන් වනවිට සහමුලින්ම විනාශ කර දැමීම තම ඉලක්කය බව ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව කියා සිටියි.