රුසියානු නීතිඥවරියක හමුවීම ගැන ට්‍රම්ප් පුතුගෙන් ප්‍රතිචාර

Donald Trump Jr at Trump Tower in New York City, 18 January 2017

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, නතාලියා වෙසෙලින්ස්ක්යා විසින් හිලරි ක්ලින්ටන් පිළිබඳ "වැදගත් තොරතුරක්" ලබා නොදුන් බව ට්‍රම්ප් ජුනියර් අවධාරණය කරයි

හිලරි ක්ලින්ටන්ගේ ප්‍රතිරූපයට හානිදායක තොරතුරු තමන් සතුව ඇතැයි පැවැසූ රුසියානු නීතිඥවරියක හමු වූ බවට පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පුතු දැඩි ප්‍රතිචාරයක් පළ කොට තිබේ.

පසුගිය වසරේ සිදු වූ හමුව සම්බන්ධයෙන් එකිනෙකට පටහැණි ප්‍රකාශ නිකුත් කළ බවට එල්ල වන චෝදනා ජනාධිපති පුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජුනියර් ප්‍රතික්ෂේප කරයි.

ප්‍රතිවාදී දේශපාලනඥයෙකු හා සම්බන්ධ තොරතුරු ලබා ගැනීම සාමාන්‍ය සම්ප්‍රදායක් බවත් ඔහු පවසා තිබේ.

පසුගිය වසරේ පැවති ඇමරිකානු ජනාධිපතිවරණයට රුසියාව බලපෑම් කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජනපද බලධාරීහු පරීක්ෂණ පවත්වමින් සිටිති.

ජනාධිපති ට්‍රම්ප්ගේ බෑණනුවන් වන ජැරඩ් කුෂ්නර් සහ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ එවක ප්‍රධානියාව සිටි පොල් ජේ මැනෆට් ද නතාලියා වෙසෙලින්ස්ක්යා හා පැවති හමුවට එක් වී තිබේ.

ජනාධිපති ධුරය සඳහා තරග කළ සිය පියාගේ ප්‍රතිවාදියා වූ හිලරි ක්ලින්ටන් පිළිබඳ නීතිඥ නතාලියා වෙසෙලින්ස්ක්යා විසින් "වැදගත් තොරතුරක්" ලබා නොදුන් බව ට්‍රම්ප් ජුනියර් අවධාරණය කරයි.

2016 වසරේ ජුනි 09 වෙනිදා නිව්යෝක් නුවර පිහිටි ට්‍රම්ප් ටවර් ගොඩනැගිල්ලේ දී අදාළ හමුව සිදුව තිබේ.

පළමු අවස්ථාව?

Trump Tower in New York City, 7 March 2017

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඒ ඩොනල්ඩ් ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂයේ නාම යෝජනා ලබා ගෙන සති දෙකකට පසුවය.

රුසියානු ජාතිකයෙකු සහ ජනාධිපති ට්‍රම්ප්ගේ පවුලේ සමීප සාමාජිකයන් අතර පෞද්ගලික මට්ටමේ හමුවක් පැවතිබව තහවුරු කෙරුණු පළමු අවස්ථාව මෙය බව විශ්වාස කෙරේ.

රුසියාව සමඟ සබඳතා පවත්වා ගැනීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බෑණනුවන් වන ජැරඩ් කුෂ්නර්, රහසිගත සන්නිවේදන මාර්ගයක් යොදා ගැනීමට උත්සාහ කර ඇති බව ඇමරිකානු මාධ්‍ය පසුගිය මැයි මාසයේ වාර්තා කර තිබිණි.

'වොෂිංටන් පොස්ට්' සහ 'නිව්යෝර්ක් ටයිම්ස්' පුවත්පත් විසින් වාර්තා කරනු ලැබ තිබුණේ රුසියාව සමඟ කෙරෙන සාකච්ඡාවලට එක්සත් ජනපද බලධාරීන් රහසින් සවන් දීම වැළැක්වීම සඳහා රුසියානු සන්නිවේදන පහසුකම් භාවිත කිරීමට ඔහු ප්‍රයත්නයක් දරා ඇති බව ය.

ජනාධිපති බෑණනුවන්

Jared Kushner

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස කටයුතු කරන ජැරඩ් කුෂ්නර්

එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස ධවල මන්දිරයට පත්වීමක් ලැබ සිටින ජැරඩ් කුෂ්නර්, ජනාධිපති ට්‍රම්ප්ගේ දියණියක් වන ඉවන්කා ට්‍රම්ප්ගේ ස්වාමි පුර්ෂයාය.

තමන් සම්බන්ධයෙන් ව්‍යාජ පුවත් පළ කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට මාධ්‍ය වෙත චෝදනා කරයි.

ඇමරිකානු ජනාධිපතිවරණයට බලපෑම් කිරීම සඳහා හැකරුන් යොදා ගත් බවට පළ වන වාර්තා රුසියාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.