කටාර් අර්බුදය: "නිසි කොන්දේසි යටතේ සාකච්ඡාවට සූදානම්"

සෞදිය ඇතුළු සෙසු අරාබි රටවල් කිහිපයක් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන නමුත් නිසි කොන්දේසි යටතේ සංවාදයකට මුල පිරීමට සිය රට සුදානම් බව කටාර් රාජ්‍යයේ විදේශ ඇමතිවරයා පවසයි.

සම්බාධක ඉවත් කිරීම සඳහා සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඇතුළු රටවල් විසින් කටාර් රාජ්‍ය වෙත පසුගියදා කොන්දේසි 13 ක් ඉදිරිපත් කරනු ලැබීය.

කටාර් විදේශ අමාත්‍ය මොහම්මද් බින් අබ්දුල්රහ්මාන් බින් ජසීම් අල්-තානි යළි අවධාරණය කළේ සිය ස්වෛරීභාවය උල්ලංඝනය කෙරෙන කිසිවක් කටාර් රාජ්‍යය පිළිනොගන්නා බවය.

ගල්ෆ් කලාපය තුළ මතුව ඇති අර්බුදය විසඳීමේ උත්සාහයන් තවදුරටත් ක්‍රියාත්මක වේ.

කටාර් රාජ්‍ය සහ සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඊජිප්තුව, බහරේනය, ලිබියාව සහ යේමනය යන රටවල් අතර මතුව ඇති අර්බුදය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විසඳා ගැනීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුතින් කටාර්හි එමීර්වරයා සහ බහරේනයේ රජු සමග දුරකතන ඔස්සේ සාකච්ඡා කර තිබේ.

ත්‍රස්තවාදයට සහාය ලබා දෙන බවට චෝදනා කරමින් ඉහත කී රටවල් කටාර් සමග පවතින රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික සබඳතා අතිහිටුවීමට පසුගිය ජුනි 05 වෙනිදා කටයුතු කළහ.

කෙසේ නමුත් කටාර් රාජ්‍ය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

අල් ජසීරා සහ ඉල්ලීම් 13 ක්

ඉරානය සමග සම්බන්ධතා අඩු කිරීම සහ කටාරයේ පිහිටි තුර්කි හමුදා කඳවුරක් ඉවත් කිරීම ඇතුළු අරාබි රටවල් විසින් කටාර් රාජ්‍ය වෙත පසුගිය ජුනි 23 වෙනිදා ඉදිරිපත් කරන ලද ඉල්ලීම් ඇතුළත් ලැයිස්තුවක පිටපතක් AP පුවත් සේවයට ද ලැබී තිබේ. ඒවා අතර:

  • මුස්ලිම් සහෝදරත්වය සංවිධානය සමග සම්බන්ධතා අත්හැරීම
  • සිය රටවල් හතරේ පුරවැසියන්ට කටාරයේ පුරවැසිභාවය ලබා නොදීම සහ දැනට එසේ පුරවැසිභාවය ලබා දී තිබෙන පුද්ගලයන් පිටුවහල් කිරීම
  • ත්‍රස්තවාදයට අනුබල දීමේ චෝදනාව යටතේ අවශ්‍යව සිටින පුද්ගලයන් එම රටවල් හතරට භාරදීම
  • ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කරනු ලැබ තිබෙන ඕනෑම සංවිධානයකට ලබාදෙන මූල්‍යාධාර වහාම නතර කිරීම
  • විශේෂයෙන්ම සවුදි අරාබිය ඇතුළු සිය රටවල විරුද්ධ පක්ෂ නායකයන්ට කටාරය මූල්‍යාධාර ලබා දුන් අවස්ථා පිළිබඳව සවිස්තර වාර්තාවක් ලබාදීම
  • අල් ජසීරා (Al Jazeera) පමණක් නොව අරාබියා21 (Arabi21) සහ මිඩ්ල් ඊස්ට් අයි (Middle East Eye) ඇතුළු අනෙක් සියලුම මාධ්‍ය ආයතනවලට ලබාදෙන මූල්‍යාධාර වහාම නතර කිරීම
  • සිය රටවලට වන්දි මුදලක් ගෙවීම (ප්‍රමාණය අනාවරණය වී නැත).

අදාළ කොන්දේසි කටාර් රාජ්‍යයේ විදේශ ඇමතිවරයා විසින් පසුගිය ජුනි 24 වෙනිදා ප්‍රතික්ෂේප කරනු ලැබීය.

කටාර් රාජ්‍ය වෙත ඉදිරිපත් කරන ලද ඇතැම් ඉල්ලීම් "ඉටු කිරීමට අපහසු" වනු ඇති බව ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් පසුගියදා පැවසීය.

ශ්‍රී ලාංකිකයන්

ශ්‍රී ලාංකිකයන් 120,000 ට අධික සංඛ්‍යාවක් කටාර් රාජ්‍යයේ සේවයේ නිරතව සිටිති.

ශ්‍රී ලංකා ආණ්ඩුව පවසන්නේ කටාර් රාජ්‍ය සහ සෙසු අරාබි රටවල් අතර මතුව ඇති අර්බුදය හේතුවෙන් මෙතෙක් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට බලපෑමක් එල්ල වී නොමැති බවය.

ඔබ කටාර් රාජ්‍යයේ හෝ මැදපෙරදිග කලාපයේ සිටින්නෙක්ද ?

කටාරයේ අර්බුදය සමග කලාපයේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ ඔබේ අත්දැකීම් හා අදහස් දන්වන්න.

දුරකතන :

+44 (0) 20 36144039

+ 44 (0)20 36140556

+ 44 (0)20 36140555

+ 44 (0)20 36140554

+ 44(0) 20 36140551

+ 44(0) 20 36140552

Facebook (ෆේස්බුක්) : පිවිසෙන්න

ඊමේල් : [email protected]