ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කටාර් අර්බුදය: "අල් ජසීරා වසා දමන්න"
සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ ඊජිප්තුව යන අරාබි රටවල් ඇතුළු රටවල් කිහිපයක් කටාර් රාජ්‍යය සමග සියලු සම්බන්ධතා අත්හිටුවීමත් සමග හටගත් කලාපීය රාජ්‍යතාන්ත්‍රික අර්බුදය තවමත් නිමා වී නැත.
මේ අතර දැනට පනවා තිබෙන සම්බාධක ඉවත් කිරීමට නම් කටාරයේ මූලස්ථානය පිහිටි අල් ජසීරා මාධ්‍ය ආයතනය වසා දැමීම ඇතුළු ඉල්ලීම් දහතුනක් ඉහත කී අරාබි රටවල් හතර කටාරය වෙත ඉදිරිපත් කර තිබේ.
ඉරානය සමග සම්බන්ධතා අඩු කිරීම සහ කටාරයේ පිහිටි තුර්කි හමුදා කඳවුරක් ඉවත් කිරීම ඇතුළු සිය ඉල්ලීම් දින දහයක් ඇතුළත ඉටු කළ යුතු බවත් එම රටවල් ඉදිරිපත් කරන ප්‍රධාන කොන්දේසියකි.
එම ඉල්ලීම් ඇතුළත් ලැයිස්තුවක පිටපතක් ඇසෝසියේටඩ් ප්‍රෙස් (Associated Press) පුවත් සේවයට ද ලැබී තිබේ. ඒවා අතර:
- මුස්ලිම් සහෝදරත්වය සංවිධානය සමග සම්බන්ධතා අත්හැරීම
- සිය රටවල් හතරේ පුරවැසියන්ට කටාරයේ පුරවැසිභාවය ලබා නොදීම සහ දැනට එසේ පුරවැසිභාවය ලබා දී තිබෙන පුද්ගලයන් පිටුවහල් කිරීම
- ත්‍රස්තවාදයට අනුබල දීමේ චෝදනාව යටතේ අවශ්‍යව සිටින පුද්ගලයන් එම රටවල් හතරට භාරදීම
- ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කරනු ලැබ තිබෙන ඕනෑම සංවිධානයකට ලබාදෙන මූල්‍යාධාර වහාම නතර කිරීම
- විශේෂයෙන්ම සවුදි අරාබිය ඇතුළු සිය රටවල විරුද්ධ පක්ෂ නායකයන්ට කටාරය මූල්‍යාධාර ලබා දුන් අවස්ථා පිළිබඳව සවිස්තර වාර්තාවක් ලබාදීම
- අල් ජසීරා (Al Jazeera) පමණක් නොව අරාබියා21 (Arabi21) සහ මිඩ්ල් ඊස්ට් අයි (Middle East Eye) ඇතුළු අනෙක් සියලුම මාධ්‍ය ආයතනවලට ලබාදෙන මූල්‍යාධාර වහාම නතර කිරීම
- සිය රටවලට වන්දි මුදලක් ගෙවීම (ප්‍රමාණය අනාවරණය වී නැත)
සබැඳි යොමු:
ත්‍රස්තවාදයට අනුබල දෙන බවට සහ කලාපය අස්ථාවර කරන බවට ඉහත කී රටවල් එල්ල කරන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන කටාරය පවසන්නේ එම සමස්ත ක්‍රියාදාමය සිය රාජ්‍යය හුදෙකලා කිරීමේ කුමන්ත්‍රණයක් බවය.
සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ ඊජිප්තුව ඉදිරිපත් කර තිබෙන මෙම ඉල්ලීම් පිළිබඳව කටාරය මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් පළ කොට නැත. එහෙත් සිය රටට එරෙහි සම්බාධක ඉවත් කරන තුරු එම රටවල් සමග කිසිදු සාකච්ඡාවක් නොපවත්වන බව කටාරයේ විදේශ ඇමතිවරයා මීට ඉහතදී සඳහන් කළේය.