'ගවයන්ගේ ආරක්ෂාව සහ මිනිස් ඝාතන' ගැන අගමැති මෝදි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ගවයන් ආරක්ෂා කර ගැනීමේ නාමයෙන් මිනිස් ඝාතන සිදු කිරීම අනුමත කළ නොහැකි බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැවසීය.
හින්දු භක්තිකයන් බොහෝ දෙනෙකු ගවයා පූජනීයත්වයේ ලා සලකන අතර ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්ත තුළ ගව ඝාතනය තහනම් කරනු ලැබ ඇත.
ඉන්දීය අගමැතිවරයා ඉහත කී අදහස් පළ කළේ මෝටර් රථයක ගව මස් ප්‍රවාහනය කරමින් සිටි බවට චෝදනා ලත් මුස්ලිම් ජාතිකයෙකු ඝාතනය කරනු ලැබ ඇතැයි වාර්තා වී පැය කිහිපයක් ගත වීමත් සමගය.
මුස්ලිම් සහ දලිත් ජන ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ඉහළ යමින් පවතින ප්‍රහාර හෙළා දැක ඉන්දියානුවෝ දහස් ගණනක් පසුගිය බදාදා (ජුනි 28) උද්ඝෝෂණවල නිරත වූහ.


ඝාතනයට ලක් කෙරුණු 45 හැවිරිදි මුස්ලිම් ජාතිකයාට ජාර්ඛන්ද් ප්‍රාන්තයේ සිය දෙනෙකුට අධික පිරිසක් පහර දී ඇති බව වාර්තා වේ.
ඔහුට පහර දෙන ආකාරය සමාජ මාධ්‍ය ජාල තුළ පළ කරනු ලැබ ඇති ඡායාරූප ඔස්සේ දැක ගත හැකි අතර ඒ අවට මස් කැබලි විසිරී ඇති ආකාරයත් එහි දැක්වේ.
මෝටර් රථයට ගිනි තබා ඇති අතර රෝහල් ගත කිරීමෙන් පසු ඔහු මිය ගොස් තිබේ.
ඒ හා සමාන ප්‍රහාරවලට ලක්ව මෑත කාලය තුළ ගණනාවක් මරුමුවට පත් විය.
රටවල් කිහිපයක උද්ඝෝෂණ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කටකතා මත පදනම්ව බොහෝ ප්‍රහාර සිදුවන අතර කිරි ලබා ගැනීම සඳහා ගවයන් ප්‍රවාහනය කරනු ලබන මුස්ලිම් ජාතිකයන් ද ඇතැම් විට පහර කෑමට ලක්වේ.
ගවයන්ගේ ආරක්ෂාවේ නාමයෙන් සිදු කරනු ලබන ප්‍රහාර හෙළා දකිමින් දිල්ලි, මුම්බායි, බැන්ගලෝර්, හයිද්‍රාබාද්, ලක්නව්, අලහබාද් සහ ලන්ඩනයේ ද උද්ඝෝෂණ පැවැත්විණි.
චෙන්නායි, කැනඩාවේ ටොරොන්ටෝ අගනුවර, ඇමරිකාවේ බොස්ටන් සහ පාකිස්තානයේ කරච්චි නුවර ද සති අන්තයේ එවැනිම උද්ඝෝෂණ පැවැත්වීමට නියමිතය.
2014 වසරේ දී හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය බලයට පත් වූ දා සිට ගවයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් විසින් මුස්ලිම් ජනතාව සහ දලිත් ප්‍රජාව ඉලක්ක කොට ප්‍රහාර ගණනාවක් එල්ල කොට තිබේ.
ඉහත කී ප්‍රහාර සම්බන්ධයෙන් ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බවට අගමැති මෝදිට චෝදනා එල්ල වේ.
මහත්මා ගාන්ධි

ඡායාරූප මූලාශ්‍රය, EPA
තමා නියෝජනය කරන ගුජරාට් ප්‍රාන්තයේ පැවති හමුවක් අමතමින් අගමැති මෝදි බ්‍රහස්පතින්දා (ජුනි 29) කියා සිටියේ ගවයන් ආරක්ෂා කිරීමේ නාමයෙන් මිනිසුන් මරා දැමීම "ඉන්දියාවේ මූලාරම්භක පියා වන මහත්මා ගාන්ධිගේ ප්‍රතිපත්තිවලට අනුගත නොවන" බවය.
සමාජයක් වශයෙන් ප්‍රචණ්ඩත්වය පිළිනොගන්නා බව කී අගමැතිවරයා "කිසිම පුද්ගලයෙකුට නීතිය අතට ගැනීමට බලයක් නැහැ" යනුවෙන් වැඩිදුරටත් පැවසීය.
ගවයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පෙනී සිටින කණ්ඩායම් පිළිබඳ අගමැති මෝදි විසින් අදහස් පළ කරනු ලැබූ පළමු අවස්ථාව මෙය නොවේ.
පසුගිය වසරේ අගෝස්තු මාසයේ දී ද ඔහු ඒ සම්බන්ධයෙන් මෙවැනිම අදහසක් පළ කළ අතර ගව ඝාතනය හෝ ගව මස් ආහාරයට ගත් බවට චෝදනා කරමින් මුස්ලිම් ප්‍රජාව වෙත එල්ල කරනු ලබන ප්‍රහාර නොනවත්වා වාර්තා විය.










