ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලන්ඩන් ගින්න: 79 දෙනෙකු මිය ගොස් ඇති බවට බිය පළවේ
ලන්ඩනයේ ග්‍රෙන්ෆෙල් මහල් නිවාසයේ හට ගත් ගින්නෙන් පුද්ගලයන් 79 දෙනෙකු මරණයට පත් වී හෝ අතුරුදහන් වී ඇතැයි විශ්වාස කරන බව පොලිසිය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසිය කියා සිටියේ ඉදිරියේ දී එම සංඛ්‍යාවේ වෙනසක් සිදු වීමේ හැකියාවක් පවතින බවය.
කෙන්සින්ටන් ප්‍රදේශයේ පිහිටි තට්ටු විසි හතරකින් යුත් ග්‍රෙන්ෆෙල් මහල් නිවාසය ජුනි 14 වෙනිදා ගින්නට හසු විය.
ගින්නට හසු වූ පුද්ගලයන්ගෙන් 18 දෙනෙකු තවමත් රෝහල් ප්‍රතිකාර ලබන අතර ඉන් 09 දෙනෙක් අසාධ්‍ය තත්වයේ පසු වෙති.
ගින්නට හසුව මරණයට පත් ඇතමුන්ගේ අනන්‍යතාව හෙළි කර ගැනීමට අපොහොසත් විය හැකි බව පවසන ලන්ඩන් පොලිසිය ඒ සඳහා සති ගණනාවක් ගත වනු ඇති බව සඳහන් කරයි.
අගමැතිනියට විරෝධය
මේ අතර ගින්නෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා ප්‍රමාණවත් පියවර ගැනීමට අපොහොසත් වී ඇති බවට බ්‍රිතාන්‍ය අගමැතිනිය තෙරේසා මේට සහ කෙන්සින්ටන් ප්‍රාදේශීය බලධාරීන්ට චෝදනා එල්ල වේ.
ව්‍යසනය සිදු වීමෙන් පසු එම ස්ථානය වෙත ගිය අගමැතිනිය විපතට පත්වූවන් මුණ නොගැසී ගිනි නිවන භටයන් සහ සහන සේවකයන් වෙත පමණක් ගොස් කරුණු විමසීම පිළිබඳ අනතුරට පත්වූවෝ විරෝධය පළ කළහ.
ඉන් අනතුරුව විපතට පත්වූවන් සග අගමැතිනිය අතර කෙන්සින්ටන් දේවස්ථානයේ හමුවක් පැවතිණි.
හමුවෙන් අනතුරුව අගමැතිනිය එම ස්ථානයෙන් පිටතට පැමිණි අවස්ථාවේ ඒ වටා රැස්ව සිටි ජනතාව හූ හඬ නගමින් ඇය වෙත කෝපය පළ කළහ.