මේ යෝධ බළලා ගිනස් පොතට යාවිද?

සෙසු බළලුන්ට වඩා ශරීර ප්‍රමාණයෙන් විශාල, යෝධ බළලෙකු පිළිබඳ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වේ.

ස්ටෙෆි හර්ස්ට් විසින් කුඩා ඕමාර් හදා වඩා ගනු ලැබුවේ 2013 වසරේදී.

එවක ශරීර ප්‍රමාණය අතින් ඕමාර් සහ ඔහුගේ සහෝදර සහෝදරියන් අතර එතරම් වෙනසක් දක්නට නොලැබිණි.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙසෙන ස්ටෙෆි හර්ස්ට්ගේ නිවසේ හැදී වැඩෙන ඕමාර් මේ වන විට අඩි 3 අඟල් 11 ක් දක්වා දිගට වැඩි ඇත.

ඕමාර්ගේ බාර කිලෝග්‍රෑම් 14 කි.

ඒ අනුව නිවෙස්වල ඇති කරන බළලුන් අතරින් දිගින් වැඩිම බළලා ඕමාර් විය හැක.

ගිනස් පොතට?

අන්තර්ජාලය තුළ ජනප්‍රියත්වයක් දිනා ගත් ඕමාර් දුටු ගිනස් ලෝක වාර්තා ආයතනය ස්ටෙෆි හර්ස්ට් අමතා ඔහුගේ ශරීර ප්‍රමාණය පිළිබඳ දත්ත ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.

දැනට ගිනස් වාර්තා පොතට එක් වී සිටින දිගම බළලාගේ ශරීරයේ දිග ප්‍රමාණය අඩි 3 යි අඟල් 10.59 කි.

ඕමාර් ගේ හිමිකාරිය ස්ටෙෆි හර්ස්ට් සති දෙකකට පෙර ඕමාර් නමින් සමාජ ජාල ගිණුමක් ආරම්භ කර ඇති අතර එහි පළ වූ එක් ඡායාරූපයක් 270,000 වාරයක් හුවමාරු (Share) වී තිබේ.

එතැන් පටන් ඕමාර් ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළ පුවත්පත් සහ ජාතික රූපවාහිනි නාලිකාවල තරුවක් බවට පත් වී ඇත.